එංගලන්ත කෙල්ලන්ට සුපිරි ජයක්

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 89 ක ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.

තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ ආර්.‍ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ ක්‍රීඩා කළේ, 200 වැනි ජාත්‍යන්තර එක්දින තරග සඳහායි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව එංගලන්ත ඉනිම ආරම්භ කළේ, එමී ජෝන්ස් සහ ටමී බියුමන්ට්.

එම ක්‍රීඩිකාවන් දෙදෙනා ‍ආරම්භක කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු 24ක්. එමී ජෝන්ස් ලකුණු 11ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියා.

දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 32ක් රැස් කරගෙන සිටි ටමී බියුමන්ට්. තරගයේ 35 වැනි පන්දු වාරයේදී කඩුලු 2ක් දවා ගැනීමට ඉනෝකා රණවීර සමත් වුණා.

එංගලන්ත කණ්ඩායමේ නායිකා නෙට් ශිවර් මෙහිදී තම එක්දින ක්‍රිකට් දිවියේ 10 වැනි ශතකය ලබා ගත්තා.

ඇය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක ලබාගත් 5 වැනි ශතකය මෙයයි. ලබාගත් ලකුණු සංඛ්‍යාව 117ක්.

ඒ අනුව, එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 253 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 33කට කඩුලු 3 ක් සහ සුගන්ධිකා කුමාරි කඩුලු 2 ක් බිඳහෙලුවා.

අනතුරුව ලකුණු 254 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 45 යි පන්දු 4 කදී දැවී ගිය අතර ඔවුන්ට ලබා ගත හැකි වූයේ, ලකුණු 164 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ හසිනි පෙරේරා ලකුණු 35 යි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33 ක් රැස්කළා. පන්දු යැවීමේදී සොෆී එක්ල්ස්ටෝන් කඩුලු 4 ක් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මීළග තරගය ලෙස, ලබන 14 වැනිදා සහභාගි වන්නේ නවසීලන්තය සමග තරගයකටයි.