ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්ගෙන් ලංකාවට පොරොන්දුවක්

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතා අතර හමුවක් ඊයේ (10) දින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහි දී මහකොමසාරිස්වරයා විසින් ඕස්ට්‍රේලියාව තුළ ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සමානාත්මතාව වර්ධනය සඳහා සකස් කර ඇති උපාය මාර්ගික සැළැස්ම සහ මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ පැහැදිලි කර තිබෙනවා.

රජයේ කාන්තාවන් පිළිබඳ වන දැක්ම සහ ස්ත්‍රී – පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය සඳහා වන පස් අවුරුදු බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැළැස්ම පිළිබඳව අමාත්‍යවරිය විසින් විස්තර කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ඉදිරි භෞතික සංවර්ධන කටයුතු තුළ දී ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සංවේදිතාව පවත්වා ගැනීම පිළිබඬ වැඩි අවධානයක් යොමු කරන බවද ප්‍රකාශ කරන ලදී.

දැනට දීප ව්‍යාප්තව පවතින කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කරමින් අවමය දිස්ත්‍රික්කයකට එක බැගින් වන ලෙස රැකවරණ මධ්‍යස්තාන පිහිටුවීමේ අවශ්‍යතාව සහ ඒ හරහා හිංසන්යේ වින්දිත කාන්තාවන්ගේ ජීවිත යළි පනගැන්විමට හැකි වන බවත් එතුමිය පෙන්වා දුනි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සහ ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සමානාත්මතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළට සහ ආපදාවට පත්වූ පවුල් වල කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ “Healing Sri Lanka” වැඩසටහන සඳහා සහය ලබා දීමට අමාත්‍යවරිය විසින් කළ ආරාධනය පිළිගනිමින් තම උපරිම සහය ලබා දීමට මහකොමසාරිස්වරයා එකගත්වය පළ කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි දෙවන ලේකම් Laura Nicholson මහත්මියද එක්ව සිටියහ.