
සිම්බාබ්වේට එරෙහි T20 ජයග්‍රහණයට මුල් වූ කමිල් මිෂාර ගැන ඔබ දැනගත යුතු කරුණු..
කමිල් මිෂාර නිමා වූ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයා ය.
හරාරේහිදී පැවති අවසන් තරගයේදී ලකුණු 192ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට කඩුලු 2ක් පමණක් දැවී තරගය ජය ගැනීමට පිතිකරුවෙකු ලෙස ඔහු සිය වගකීම ඉෂ්ට කළේ ය.
පන්දු 43කින් නොදැවී වේගවත් ලකුණු 73ක් රැස් කළ ඔහුගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් විය.
මේ දක්වා පන්දු වාර 20 ජාත්‍යන්තර තරග 5කට සහභාගී වී ඇති ඔහු ඉනිමකදී රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ඊයේ රැස් කළ ලකුණු 73 යි.

ඊයේ තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ද කමිල් මිෂාරට ය.
තරගය අවසානයේ කමිල් කී දේ
ඊයේ තරගයෙන් අනතුරුව ඔහු පැවසූයේ මෙවන් අදහසකි.
”මට ගොඩක් සතුටුයි ආයේ රට නියෝජනය කරන්න ලැබුණු එකට. ඒකට සෑහෙන මහන්සි වුණා. ඇත්තට ම ප්‍රෙෂර් එකක් තිබ්බා. මොක ද ඊයේ (දෙවන පන්දු වාර 20 තරගය) හිතපු නැති විදිහට විකට්ස් ගියා. බැටිං යුනිට් එකක් විදිහට අපි කම්බැක් එකක් දෙන්නේ කොහොම ද කියලා ටීම් එක කතා කරලා සෝට් අවුට් කර ගත්තා. ඊයේ අපෙන් වුණ ඒ මිස්ටේක් එක අපි එතනින් අමතක කරලා අලුත් දවසක් විදිහට අද පටන් ගන්න අපි හිතුවා. තින්කිං පැට්න් එක නිසා අපිට මැච් එකේ ගොඩක් වෙනස් පැත්තකට යන්න පුළුවන් වුණා. ඇත්තට ම කිව්වොත් කුසල් අයියාගෙන් ලොකු සපෝර්ට් එක් තිබ්බා. මම බේසික්ස්වලට ඇවිල්ලා මගේ රිදම් එක ඒෂියා කප් එකට තියා ගන්න බලාපොරොත්තු වෙනවා.”
කවුද මේ කමිල් මිෂාර?
මේ වන විට 24 වන වියේ පසුවන කමිල් මිෂාර, පානදුර මහනාම විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශ විය.
කුඩා කල කමිල්ගේ දක්ෂතා දුටු ඔහුගේ මව ඔහු ක්‍රීඩාවට යොමු කළ බව කමිල් පවසා තිබේ.
ඉදිරිපෙළ වමත් පිතිකරුවෙකු මෙන් ම දකුණතින් දඟ පන්දු යවන්නෙකු ලෙස ද කමිල් දක්ෂතා දක්වා තිබේ.
පානදුර මහානාම විද්‍යාලයේදී වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ වයස් කාණ්ඩවල ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ ඔහු මලයාසියාවේ තරග සංචාර දෙකකට ද එක් විය.
දෙවන සංචාරයේදී කණ්ඩායමේ නායක ලෙස ද කටයුතු කළ කමිල්, තරගාවලියේ දක්ෂතම පිතිකරු සහ තරගාවලියේ වීරයා සම්මාන ද දිනා ගත්තේ ය.
පාසල් ක්‍රීඩකයින්ට වෙන් වූ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ද වසර ගණනාවක් කමිල් තම දක්ෂතා පෙන්නුම් කළේ ය.
කොළඹ රාජකීය විද්‍යාලයට
පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වූ කමිල් එම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත් වූයේ පළමු වසරේදී ම ලකුණු 850ක් රැස් කරමින් සහ කඩුලු 70ක් දවා ගනිමිනි.
තිළිණ කණ්ඩම්බි සහ ජෙහාන් මුබාරක් යන පුහුණුකරුවන් යටතේ රාජකීය විද්‍යාලයේදී තම දක්ෂතා තවදුරටත් ඔප් නංවා ගත් කමිල්, ඉන් අනතුරුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබී ය.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය, ආසියානු කුසලාන, ඔස්ට්‍රේලියා, බංග්ලාදේශ, පකිස්ථාන වැනි තරගාවලි රැසකදී කැපී පෙනුණු ශ්‍රී ලංකා පිතිකරුවන් අතර කමිල්ට සුවිශේෂී ස්ථානයක් හිමි විය.
එවකට 19න් පහළ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න යටතේ තවදුරටත් තම දක්ෂතා වර්ධනය කර ගැනීමට කමිල් සමත් විය.
ඔස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායමට එරෙහිව ඔහු ශතක 2ක් රැස් කළේ වසර 38කට පසුව එවන් දස්කමක් දැක් වූ පළමු පිතිකරු බවට පත් වෙමිනි.
19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ කමිල්, ශතක 2ක් රැස් කරමින් අපරාජිතව එම කණ්ඩායම ශූරතාව කරා මෙහෙයවීය.
2019 වසරේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි වූයේ ද ඔහුට ය.
එම වසරේ පාසල් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස ද කමිල් වාර්තාවකට හිමිකම් කීය.
එන්.සී.සී කණ්ඩායමෙන් අන්තර් සමාජ ක්‍රිකට් පිටියට පිවිසි ඔහු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කළේ ය.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට
2022 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද කමිල් ඇතුළත් විය.
ඔහු ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ, 2022 වසරේදී ඔස්ට්‍රේලියාව සමග පැවති පන්දුවාර 20 තරග සංචාරයේදී ය.
එම වසරේදී ම බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද කමිල් ඇතුළත් විය.
20/20 පිටියෙන් ජාතන්තර වරම් දිනූ ඔහුට මෙතෙක් ටෙස්ට් සහ එක් දින තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී නැත.