මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම හමුවේ ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවට කටාර් රාජ්‍යය අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වසර දෙකකින් පසු ඉහළම අගය වාර්තා කර ඇති අතර එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
(විසිආර්)
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ ලෝක ආර්ථිකය කඩාවැටීමේ අවදානමක් පවතින බව කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි ප්‍රකාශ කරනවා. දැනටමත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 9කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 93 සීමාව ඉක්මවා ඇති අතර, ගැටුම් දිගටම පැවතුණහොත් එය ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ප්‍රවාහන කටයුතු අඩාල වීම හේතුවෙන් බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව වැනි රටවල ඉන්ධන මිල හා උද්ධමනය ඉහළ යාමේ තර්ජනයක් මතුව තිබෙනවා. කටාර් එනර්ජි ආයතනය සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කර ඇති අතර අනෙකුත් ගල්ෆ් කලාපීය අපනයනකරුවන්ට ද ඉදිරි දිනවලදී එම තීරණයටම එළඹීමට සිදුවනු ඇතැයි එරට බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.
