ගාසා ජන සංහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් චෝදනා

ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ කොමිසම චෝදනා කරනවා.

නැගෙනහිර ජෙරුසලම ඇතුළු අත්පත් කරගත් පලස්තීන භූමිය පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසම ඊයේ මේ බව කියා සිටියා.

ජිනීවාහි පැවති මාධ්‍ය හමුවකදී කොමිසමේ සභාපතිවරිය පැවසුවේ, ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය නීතිමය හදිසි අවස්ථාවක් බවයි.

සාමාජික රටවල් ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවද ඇය කියා සිටිනවා.

ජාත්‍යන්තර අධිකරණය එය ජන සංහාරයක් ලෙස ප්‍රකාශ කරන තෙක් බලා සිටීම අවශ්‍ය නොවන බවද සභාපතිවරිය සඳහන් කළා.

කොමිසමේ වාර්තාව මගින් 2023 ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායල-හමාස් ගැටුමේ ආරම්භයේ සිට 2025 ජූලි 31 දක්වා කාලය ආවරණය කර තිබෙනවා.

කොමිසම පවසන්නේ, එහි විශ්ලේෂණය 1948 ජන සංහාර සම්මුතිය යටතේ “ජන සංහාරය තීරණය කිරීම” මත පදනම් වී ඇති බවයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ඩැනියෙල් මෙරොන් එම වාර්තාව දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

ඔහු පවසන්නේ විමර්ශන කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද අපහාසාත්මක ප්‍රකාශය ඊශ්‍රායලය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එම වාර්තාව සම්පූර්ණයෙන්ම හමාස් සංවිධානයේ ව්‍යාජ තොරතුරු මත පදනම්ව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.