ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස

ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බව ඉදිරි දිනවලදි නිවේදනය කිරීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ගාසා තීරය පිළිබඳ එක්සත් ජනපද සාම සැලසුම යටතේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය ඉකුත් සිකුරාදා සිය එකඟතාව පළකළා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් සඳහන් කළේ හමාස් සංවිධානය නිරායුධ කර ගාසා තීරය හමුදාකරණයෙන් ඉවත් කිරීමට ක්‍රියා කරන බවයි.

පහසු ක්‍රමයෙන් හෝ දුෂ්කර ක්‍රමයෙන් වුවද එය සාක්ෂාත් කර ගන්නා බවද ඔහු කියා සිටියා.

ඊශ්‍රායල අගමැතිවරයා මෙලෙස ප්‍රකාශ කළේ ගාසා තීරය පිළිබද එක්සත් ජනපද සාම සැලසුම යටතේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා එකඟතාව පළකළ නමුත් නිරායුධකරණය පිළිබඳ කිසිඳු සඳහනක් නොමැතිව හමාස් සංවිධානය විසින් ඉකුත් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

මෙවැනි පසුබිමක් තුළ ගාසා තීරය වෙත ඊශ්‍රායල ප්‍රහාර යළි එල්ල වු බව හමාස් සංවිධානය පවසනවා.

කරුණු 20 කින් සමන්විත ගාසා තීරය පිළිබඳ එක්සත් ජනපද සාම සැලසුම මගින් සටන් වහාම නතර කිරීම, හමාස් සංවිධානය භාරයේ තවමත් ජීවතුන් අතර සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු සහ මියගොස් ඇති බවට සැලකෙන අයගේ සිරුරු, ගාසා වැසියන් සිය ගණනක් වෙනුවෙන් හුමවාරු කර ගැනීමටද යෝජිතයි.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට එක්සත් ජනපද සාම සැලසුමෙහි පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා වන සූදානම ඉහළ නංවන ලෙස නියෝගයක් නිකුත් කළ බවයි.

මේ අතර, ගිවිසුමක් සම්පූර්ණ කිරීම සඳහා හමාස් සංවිධානයේ ප්‍රමාදය නොඉවසන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේවුවද දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් පිළිබඳ වක්‍ර සාකච්ඡා හෙට ඊජිප්තුවේදි ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.