ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතයි

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය.

ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳවද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ හඩ නඟන බවද අවධාරණය කළේය. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා දැඩිව බලපෑම් කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාව වෙත සියලුදෙනා අවතීර්ණ විය යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, ගෝලීය ගැටලු රැසක් නිර්මාණ කර ඇති දුප්පත්කම පිළිබඳව සිය කතාව තුළ විශේෂ අවධානය යොමු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇති නැති පරතරය සහ දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළයුතු බවද සඳහන් කළේය.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී ඇති ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවරද මෙහිදී ගෙන හැර දැක් වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, දේශපාලනයට සහ සමස්ථයක් ලෙස ලෝකයේ යහපැවැත්මට තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට එක්වන ලෙසද ලෝක නායකයන්ට ඇරයුම් කළේය.