ජනපති හෙට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසි වාරයට සහභාගිවීම සඳහා හෙට රාත්‍රි අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයා ලබන 24 වැනිදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති.

මෙම නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතයි.

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් සමග හමුවකටද ජනාධිපතිවරයා සහභාගිවනවා.

ජනාධිපතිවරයා සමඟ මෙම නිල සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගි වනවා.