ජනාධිපති විලියම් රූටෝගේ රජයට එරෙහිව කෙන්යාව පුරා මහජන විරෝධතා

ජනාධිපති විලියම් රූටෝගේ රජයට එරෙහිව කෙන්යාව පුරා පැවති මහජන විරෝධතා අතරතුර  පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 400 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විරෝධතාකරුවන්  ජනාධිපතිවරයාගේ නිල නිවසට පා ගමනින් යාමට කළ උත්සාහය පොලිසිය බාධක සහ කඳුළු ගෑස් යොදා වළක්වා තිබෙනවා.

ඉකුත් වසරේද ජනාධිපති විලියම් රූටෝගේ රජයට එරෙහිව දරුණු  විරෝධතා මාලාවක් පැවැත්වුණා. එම විරෝධතාවලට වසරක් ගත වීම වෙනුවෙනුයි මෙම නව විරෝධතා සංවිධානය කර තිබුනේ.

විරෝධතා සජීවී විකාශනය කිරීම රජය තහනම් කර තිබුණා. පසුව මහාධිකරණය ඊට අවසර දී තිබුණා .

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී සිටි කෙන්යානු ජනාධිපති  විලියම් රූටෝ, රටේ ස්ථාවරත්වයට හානි කිරීමට එරෙහිව අනතුරු අඟවමින් සාමකාමීව විරෝධතා දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා.

තුවාල ලැබූවන්ගෙන් බොහෝ පිරිසක් ආරක්ෂක අංශ වෙඩි තැබිමෙන් ඇති වූ තුවාල බවටයි මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරන්නේ. පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද තුවාල ලබා සිටිනවා.

විරෝධතා හේතුවෙන් කෙන්යාවේ කඩසාප්පු වසා දමා ඇති අතර ජනජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.