ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (PMLA) යටතේ ඉන්දීය රුපියල් කෝටි 200ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඉල්ලා ගොනු කළ පෙත්සම දිල්ලි මහාධිකරණය විසින් ඊයේ (03) ප්‍රතික්ෂේප කර තිබේ.

විනිසුරු අනිෂ් දයාල් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් ඇයගේ මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත.

ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

චූදිත ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.

අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්වේ.

එහෙත් කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන් කෙරේ.