
පින්බර ඇසළ පුන් පොහෝ දින ගෙවී යන්නටත් පෙර අසන්නට ලැබුණේ මිනිස් ඝාතන පිළිබඳ පුවත්ය. ශ්‍රී ලංකාව කොච්චර පුංචි රටක් වුණත් මේ රටේ සිදුවන මිනිස් ඝාතනවලින් නම් අඩුවක් නැහැ. සමහර මිනිස් ඝාතන ගැන අහද්දී ඇඟ කිලිපොළා යනවා. මොකද ඒ තරමටම ඒ මිනිස් ඝාතන සාහසිකයි. දරුණුයි. කවර ජාතියක, කවර ආගමක වුණත් කිසිම පුද්ගලයෙක්ට බැහැ තවත් කිසිම පුද්ගලයෙක්ගේ ජිවිතයක් නැති කරන්න. හැබැයි මේ සිදුවීම් වර්තමානය වෙනකොට දිනෙන් දින වැඩි වෙනවා. කවදාද මනුස්ස ඝාතනයක් පිළිබඳ ප්‍රවෘත්තියක් අසන්නට නොලැබුණේ? ඒ තරමට අද සමාජය පිරිහිලා. මිනිස්සු ප්‍රචණ්ඩත්වයට නැඹුරු වෙලා. අද මිනිස්සුන්ගෙන් මානුෂිකත්වය හොයන්න ගොඩක් අමාරුයි. තාක්ෂණයේ දියුණුවත් එක්ක වගේම මිනිස්සුන්ගෙ ජීවන රටාවේ තියෙන විවිධාකාර විෂමතා එක්ක මිනිස්සුන්ගෙ සංවේදීකම,කරුණාව වගේ හැඟීම් හදවත්වලින් බැහැරට ගිහින්. මිනිස්සු කොච්චර ක්‍රෑර වෙලා ද කියනවනම් දරුවො මවුපියෝ මරන තැනට පත්වෙලා. මවුපියෝ දරුවො මරන තැනට පත්වෙලා. සහෝදර සහෝදරියෝ, යාළුවෝ මරාගන්නවා. හැබැයි මේ ඝාතනවල අඟමුල හොයල බැලුවම පොඩි පොඩි හිත් අමනාපකම්වලට තමයි වැඩි හරියක් මිනිස් ඝාතන වෙලා තියෙන්නෙ. එක්කො බහින්බස්වීමක් දුරදිග ගිහින්. එහෙම නැත්නම් මොකක් හරි පළිගැනීමකට.
මේ හැමතැනදීම මිනිස්සුන්ට මිනිස්සු ගැන පාලනයක් හෝ ඉවසීමක් නෑ. ක්ෂණික කෝපය තමයි සියල්ලට හේතුව කියලා පෙරහර ගියාට පස්සෙ ඔවුන්ට තේරෙන්නෙ. වෙඩි තැබීමක්, ආයුධවලින් පහර දිලා මිනිස්සු ඝාතනය කිරීමේ සිදුවීමක් ගැන ඕනෑතරම් අහන්න දකින්න පුළුවන්. මේ සියල්ල මිනිස්සු සැලසුම් කරන්නේ ඉතා සූක්ෂ්මව. මොකද වර්තමානයේ තාක්ෂණය දියුණුයි. මිනිස්සුන්ගෙ චින්තනයත් ඒ සමඟ වෙනස් .මිනිස්සුන්ට තමන් ගැන පාලනයක් නැහැ. ඒ වගේම බලලෝභය, ඊර්ෂ්‍යාව, තණ්හාව වගේ හැඟීම්වලින් මිනිස්සුන්ගෙ හිත් පිරිලා. ඝාතන සිදු කිරීමේ උපක්‍රම කෙතරම් සූක්ෂ්ම වුණත් ඔවුන් නීතියේ රැහැනට හසුවීම වළක්වන්නට කිසිවෙකුටත් බෑ. කෙසේ වුවත් අද දවස වෙනකොට මිනිස් ඝාතනවල සැලකිය යුතු වර්ධනයක් සිදුවී අවසන්.
මේ තත්ත්වය ඉදිරියටත් මේ ආකාරයටම පැවතියහොත් ලංකාව කියන්නෙ තවත් එක් චිකාගෝවක් පමණක්ම වෙයි. මොකද මිනිසුන්ගේ ජීවිත සෙල්ලම්බඩු වගේ තැන් තැන්වල විනාශ වෙලා යනවා. එක් කාල සීමාවක අවි ගත්තෝ එකිනෙකා මරා ගන්නා අතරතුර ඇතැම් මිනිසුන් සුළු ආරවුල් පවා නතර කරන්නේ මිනිස් ඝාතන එකක් හෝ දෙකක් හමාර කරමින්. ඉතින් අද පාතාලයේ මිනිස් ඝාතන අභිභවා සාමාන්‍ය ජනයා, තම හිතවතුන් එකිනෙකාගේ දිවි අහිමි කිරීම තෝරාගෙන තිබෙනවා. මිනිස් ඝාතනයක් පිළිබඳ අසන්නට නොලැබෙන දිනක් කවදාදැයි කිව නොහැකි තරමට මෙකී මනුෂ්‍ය ඝාතන සිදුවීම් වර්ධනය වී අවසන්.