දිනුවත් කුසලානයට පින නැති භාරත පුත්තු

9 වැනි වරටත් ආසියානු කිරුළ හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පකිස්ථාන ජාතික මෝෂින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ ඉන්දියාව, ශූරතා කුසලානය නොමැති ජයග්‍රහණය සැමරුවා.

ඉන්දියාව සහ පකිස්ථානය අතර, අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකින්ථානය පන්දු වාර 19 යි පන්දුවක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 146 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වන සහිඩ් සාඩා ෆර්හාන් ලකුණු 57 ක් ලබාගත් අතර, ෆකර් සමන් ලකුණු 46 යි.

සයිම් අයුබ් ලකුණු 14 ක් ලබා ගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු දහයේ සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේදී කුර්දීප් යාදෙව් කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ලෙස ඉන්දියාව තරගය ජය ගත්තේ පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 150 ක් රැස් කරමින්.

තිලක් වර්මා නොදැවී ලකුණු 69 ක් ලබා ගත්තා. ඒ අනුව, ඉන්දියාව අවසන් තරගය කඩුලු 5 කින් ජයගත් අතර, ආසියානු ක්‍රිකට් කිරුළ ඉන්දියාවට හිමි වුණා.

තරගය අවසානයේ ත්‍යාග ප්‍රදානය පැයකින් පමණ ප්‍රමාද වූයේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පාකිස්ථාන ජාතික මෝෂින් නක්වි අතින් ශූරතා කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන්.

අනතුරුව මොෂින් නක්වි ශූරතා කුසලානය රැගෙන ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියා. ඒ අනුව, ඉන්දියාවට කුසලානය ලබා නොදුන් අතර, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම එය නොමැතිව ජයග්‍රහණය සැමරුවා.