දිය නෑමට ගිය තිදරු මවට අත්වූ අවාසනාවන්ත ඉරණම

මින්නේරිය පොලිස් බල ප්‍රදේශයට අයත් මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ මින්නේරිය වැවේ සිට කවුඩුල්ල වැව වෙත ජලය ගෙන යන වාන් ඇලේ තිබී දියේ ගිලී මිය ගොස් ඇති බවට සැකකෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (30) ප්‍රදේශවාසීන් සොයා ගෙන ඇත.

මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇති බවට සැකකෙරෙන්නේ මින්නේරිය මහ රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 55ක් පමණ වන තිදරු මවකි.

ඇය ඊයේ උදෑසන දිය නෑම සදහා යන බව පවසා නිවසින් පිටවී ගොස් ඇති අතර ඇය දිගු වේලාවක් යනතුරු නිවසට නොපැමිණීම මත නිවැසියන් හා ප්‍රදේශවාසීන් විසින් එක්ව ඇය දිය නාමට ගිය මින්නේරියේ සිට කවුඩුල්ල වැවට ජලය ගෙන යන වාන් ඇල ඔස්සේ සොයා බලා ඇත.

කෙසේ නමුත් සවස් වනතුරු ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඔවුන්ට හැකිව නොතිබිණ.

එවන් තත්වයක් මත රත්මලේ ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත ගොවියෙකු විසින් සිය වගාවට ජල මෝටරයක් මගින් ජලය ලබා ගැනීම සදහා මෙම වාන් ඇලට බසින අවස්ථාවේ වාන් ඇලේ මළ සිරුරක් තිබෙනු දැක ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමෙන් පසු ඒ පිළිබඳව මින්නේරිය පොලීසිය දැනුවත් කර ඇත.

පසුව මින්නේරිය පොලීසිය විසින් වාන් ඇලේ ගසක් අසල පාවෙමින් තිබූ මෙම කාන්තා මළ සිරුර පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගොඩගැනීමට සවස කටයුතු කර තිබුණා.

දියේ ගිලීමෙන් මෙම මරණය සිදුව ඇති බවට පොලීසිය විසින් සැක කරනු ලබන අතර එම මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දේහය පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදු විමර්ශන සිදුකරනවා.