මහඑළිතැන්න කියන්නේ මේ පුංචි දිවයිනේ සැඟවුණු ජෛව විවිධත්වයේ මුදුන් මල්කඩයි.
හෝර්ටන්තැන්නට යන ඕනම කෙනෙකුටම මෙහි සෑම බිම් අඟලකම ඇති ජෛව විවිධත්වය අත්විඳීමට හැකියාව ලැබෙනවා.
ස්වභාවධර්මයේ අසිරිය විඳහා පාන සුන්දර මහඑළිතැන්න සානුව ශ්‍රී ලංකාවේ සමස්ත භූමි භාගයෙන් 0.05 ක තරම් භුමි භාගයකයි පැතිර පවතින්නේ.
අපේ රටේ හමුවන සපුෂ්ප ශාකයන්ගෙන් සියයට 9 ක්ම මහඑළිතැන්නේදි අපට දැකගන්න පුළුවන්. ඒ වගේම අපේ රටට ආවේණික මල් පිපෙන ශාකයන්ගෙන් සියයට 12 ක්ම ඇත්තේ මෙහි වීම විශේෂත්වයක්.
හෝර්ටන්තැන්නේ මල් පිපෙන ශාක අතරින් “නෙළු” ශාකයට හිමිවන්නේ සුවිශේෂි වටිනාකමක්. නෙළු මල් පිපෙන කාලයට මහඑළිතැන්න සුදු, දම්, රතු, කහ සහ රෝසපාටින් බැබළෙනවා.
එම තැන්නට “දෙවියන්ගේ මල් උයන” කියලා විරුදාවලියක් ලැබිලා තියෙන්නෙත් නෙළු මල් පිපෙන නිසාවෙන්මයි. මල් පිපෙන කාලයට නෙළු මල් යාය මහඑළිතැන්නට පළඳවපු ආභරණයක් ලෙසයි දිස්වන්නේ.
මහ නෙළු වාරය ලෙස හැඳින්වෙන මෙම මෙම සංසිද්ධිය මුලින්ම වාර්තා කර ඇත්තේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ලෙස හඳුන්වන මහඑළිතැන්න ෆාර් බංගලාව ඉදිකරනු ලැබු තෝමස් ෆාර් මහතා විසින් 1881 වසරේදි. ඉන්පසු මෙම ප්‍රදේශයට අවට විවිධ නෙළු විශේෂවල මල් එකම කාලයක පිපීම සිදුවන බව ඔහු නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ මත පදනම්ව වසර 12 කට වරක් මෙලෙස මහා පරිමානයෙන් නෙළු මල් පිපිම සිදුවන බව වාර්තාවල සඳහන්. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට නෙළු විශේෂ 31 ක් හඳුනාගෙන තිබෙනවා.
එයින් 12 ක්ම මෙරටටම ආවේණික වීම විශේෂත්වයක්. මේවායින් ඇතැම් නෙළු විශේෂවල මල් පිපෙන්නේ වසර 12කට වරක්. මින් පෙර එම ප්‍රභේදයේ මල් පිපුණේ 2013 වර්ෂයේදි.
ඉන් වසර 12කට පසු නැවතත් මහඑළිතැන්න වසාලමින් නෙළු පිපී තිබෙනු දක්නට ලැබෙනවා.

හෝර්ටන්තැන්නේ දැනට හමුවන නෙළු විශේෂ 6 න් දෙකක මල් පිපෙන්නේ වසර 12 කට වරකුයි. තවත් නෙළු විශේෂයක වසර 6 කට වරක් මෙන්ම, වසර 4 කට සහ 3 කට වරක් පිපෙන විශේෂයන්ද දක්නට ලැබෙනවා.
මේ නෙළු අතුරින් එක් විශේෂයක් පමණක වසරක් පාසා මල් පිපෙනු දැකගත හැකියි. මේ දිනවල මහඑළිතැන්න මාර්ගයේ පියනගන්නෙකුට වෙනදා නොඇසුණු බඹර, මීමැස්සන්ගේ නාදයෙන් දෙසවන් පිනවිය හැකියි.
ඒ වගේම වසර 12 කට පසු උදාවු මේ නෙළු වසන්තය හෝර්ටන්තැන්නේ සෑම සතෙකුටම අමුතු ප්රබෝධයක් ගෙන එනවා.
හෝර්ටන්තැන්නේ නෙළු මල් අසිරිය නැරඹීමට යන ඔබ මෙන්න මේ කාරණා ටිකත් දැනගෙන යා යුතුමයි. හෝර්ටන්තැන්න කියන්නේ මහඑළිය ප්‍රදේශයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික වනෝද්‍යානයක් වන අතර, කිසිඳු වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව එහි ඇතුලුවීම තහනම් ක්‍රියාවක්.
ඒ වගේම ගෝනුන් වැනි සතුන්ට ආහාර ලබාදීම, නියමිත මංපෙත්වලින් පිටත ගමන් කිරීම, කෑකෝගැසීම, සංගීත භාණ්ඩ වාදනය කිරීම, මල් හෝ ශාඛ කොටස් කැඩීම ආදිය සපුරා තහනම් බවත් මතක තබා ගතයුතුයි.
ඒ වගේම තමයි නෙළු බලන්න කියලා තොටුපල කන්ද පැත්තෙන් යනවා නම්, මෙන්න මේ දිවියාගෙන් පරිස්සම් වෙලා යන්නත් අමතක කරන්න එපා.
නැවතත් මේ වගේ නෙළු වසන්තයක් හෝටන් තැන්නට එන්නේ 2037 දී කියලයි නෙළු පිළිබඳ පර්යේෂණයේ නියුතු වූවන් පවසන්නේ.
මෙවර නෙළු වසන්තය මගහැරුණොත් නැවත ඒ වෙනුවෙන් වසර 12 ක් හෝ 13 ක් ඔබට බලා සිටීමට සිදුවනවා.
රසකාමී ඔබ සොඳුරු නෙළු මග නොහැර විඳින්න, ඉක්මනින්ම මහඑළිතැන්නට ඒවි යැයි රු-ට්‍රැවලර් තුළින් අපි බලාපොරොත්තු වනවා.
නමුත් දෙවියන්ගේ මල් උයනේ සිරි අසිරිය විඳගන්න ගමන් තුරුලතා වලින් නොමිලේම තිලිණ කරන නොඉඳුල් සුළං රැල්ලක පහස විඳ, ඔබගේ පාසටහන් පමණක් ඉතිරිකර එන්නත් අමතක කරන්න එපා.