මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් ඉවත දැමූ අභියාචනාදීකරණය එම නඩුව යළි විභාග කරන ලෙස නියෝගයක් නිකුත් කළා.
අදාල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් වූ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිනී සෙනෙවිරත්න, ප්‍රදීප් චමින්ද මෙන්ම සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන් සහ ෆේබියන් රොයිස්ටන් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් 2016 වසරේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.
පසුව විත්තිකරුවන්ගේ ඉල්ලීමකට අනුව මෙම නඩුව සිංහල භාෂාව කතා කරන සාමාජිකයින්ගෙන් සමන්විත ජූරි සභාවක් හමුවේ විභාග කළා.
මෙම නඩුකරයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස මේ වන විට අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි නම් කර තිබූ අතර ඔහු සාක්ෂි ලබාදී තිබුණා.
දීර්ඝ විභාගයකින් අනතුරුව ජූරි සභාවේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ විත්තිකරුවන් සියලු දෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණා.
එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළා.
නීතිපතිවරයා සිය අභියාචනය තුළින් සඳහන් කර තිබුණේ අදාළ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් ජූරි සභාව වෙත වැරදි ලෙස හෝ ප්‍රමාණවත් ලෙස පැහැදිලි කර නොදුන් බවයි.
ඉන් අනතුරුව මෙම අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව අමල් රණරාජා විනිසුරුවරයාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සඳහන් කළේ කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව ලබාදී තිබෙන්නේ මධ්‍යම රාත්‍රිය පසු වී පෙරවරු 12.50 ට බවයි.
මෙය අසාමාන්‍ය තත්ත්වයක් බවත් විනිසුරුවරයා පවසනවා.
මෙම නඩුවේදී සම්පත් මනම්පේරි නැමැත්තකු සාක්ෂි ලබාදුන් අතර ඔහුගේ සාක්ෂි තුළින් විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව පැහැදිලි යැයි කියා සිටී විනිසුරුවරයා එම සාක්ෂි පිළිබඳව ප්‍රමාණවත් ලෙස ජූරි සභාව දැනුවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර නොමැති බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන තර්කය පිළිගන්නා බවත් පැවසුවා.
මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවල සාක්ෂිමය වටිනාකමක් තිබුණත් ඒ සම්බන්ධයෙන් ජූරි සභාවට නිසි ලෙස උපදෙස් දීමට මහාධිකරණ විනිසුරුවරයා අපොහොසත් වී තිබෙන බවත් තීන්දුවේ සඳහන් වුණා.
ඒ අනුව අදාල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දමන බව කී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල චෝදනා සම්බන්ධයෙන් අලුතින් නඩු විභාගයක් ආරම්භ කරන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයාට නියෝග කළා.
