නිව්යෝර්ක් නගරයම අයිස් වෙයි

නිව්යෝර්ක් නගරය පුරා පැතිර ගිය දරුණු ශීතල කාලගුණය සහ හිම කුණාටු හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති එරට මාධ්‍ය පවසනවා.

නිව්යෝර්ක් නගරයේ උෂ්ණත්වය සෘණ අගයන් දක්වා ඉතා දරුණු ලෙස පහත වැටී ඇති අතර, මෙම මරණවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අධික ශීතලට නිරාවරණය වීමෙන් ඇති වූ හයිපෝතර්මියා තත්ත්වයයි.

මීට අමතරව, මාර්ගවල මිදී ඇති හිම ඉවත් කිරීමට යාමේදී ඇති වූ හෘදයාබාධ සහ ලිස්සා යාමෙන් සිදු වූ අනතුරු හේතුවෙන් ද මරණ කිහිපයක් වාර්තා වී ඇත.

පවතින අයහපත් කාලගුණයත් සමඟ නිව්යෝර්ක් බලධාරීන් නගරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නිවාස නොමැති පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ සහන මධ්‍යස්ථාන ද විවෘත කර තිබෙනවා.

අධික හිම පතනය හේතුවෙන් යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා දහස් ගණනකට විදුලි බලය විසන්ධි වී ඇති බව නිව්යෝක් බලධාරීන් පවසනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් ජෝන් එෆ්. කෙනඩි සහ ලාගාඩියා ගුවන් තොටුපළවල ගුවන් වාර සිය ගණනක් අවලංගු වීම නිසා මගීහු ද දැඩි අපහසුතාවට පත්ව සිටිති.