පද්මේ CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දීර්ඝ කෙරේ

මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.

තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වනවිට රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ එකඟත්වය ඇතිව මෙම ප්‍රතිඥාව දීර්ඝ කරනු ලැබුවා.

මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 02 වන දා කැඳවන ලෙසයි.

එම අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන නොයන බවට මීට පෙර වග උත්තරකරුවන් විසින් අධිකරණයට ලබාදුන් ප්‍රතිඥාව එදින දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එකඟතාවය පළ කළා.

ඒ අනුව අදාල ප්‍රතිඥාව මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ සිය පුත්‍රයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි.

රැදවුම් භාරයේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඔහු මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථානවලට රැගෙන යාම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.