ප්‍රංශයේ මර්ල් සෙයිල් ගිනිගනී

ප්‍රංශයේ දෙවන විශාලතම නගර යන මර්ල් සෙයිල් හි ලැව් ගිනි තත්වයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පැතිර යන ලැව් ගිනි තත්වය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 800 ක් පමණ යොදවා ඇති බවත්, ගින්න තවමත් පාලනය කර නොමැති බවත්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටේලියෝ ප්‍රකාශ කරනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පුද්ගලයින් 400 ක් පමණ එම ප්‍රදේශවලින් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ගිනි නිවන මෙහෙයුම් අතරතුර ගිනිනිවන භටයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බෑවුම් සහිත ප්‍රදේශයන්හි අධික සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් ලැව් ගින්න මැඩපැවැත්වීම දුෂ්කර වී ඇති බවයි ගිනිනිවන ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

ඉදිරියේදි උද්ගත විය හැකි අනතුරුදායක තත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත ලෙස කටයුතු කිරීමට බලධාරින් උපදෙස් දී තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොටන් උද්ගත වී ඇති තත්වය හමුවේ සියලුම ආරක්ෂක අංශ වෙත සිය සහය පළකළ අතර, අවශ්‍ය කටයුතු කඩිනමින් සංවිධානය කිරීමට බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.