දින හතරකට පෙර ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ සෙබස්තියන් ලෙකෝර්නු ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් යළිත් එම ධුරයට පත් කර තිබෙනවා.
ප්‍රංශ ජනාධිපතිවරයා එලිසි මාලිගයේදී ප්‍රධාන පක්ෂ නායකයින් හමුවීමෙන් අනතුරුව සෙබස්තියන් ලෙකෝර්නු අගමැති ධුරයට නැවත පත් කිරීම පිළිබඳව නිවේදනය කළා.
ජනාධිපතිවරයා ප්‍රංශ අගමැතිවරයාට දැනුම් දී ඇත්තේ, නව රජයක් පිහිටුවා එළඹෙන සඳුදාට පෙර නව අයවැයක් ඉදිරිපත් කරන ලෙසයි.
සෙබස්තියන් ලෙකෝර්නු අගමැති තනතුර භාරගෙන ඇති බවත්, රටේ දේශපාන ස්ථාවරත්වය යථා තත්වයට පත්කිරීමට සහ ප්‍රංශය මුහුණ දී ඇති මූල්‍ය අභියෝගවලට විසඳුම් ලබා දීමට පොරොන්දු වී ඇති බවත්, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ප්‍රංශ අගමැතිවරයා එම ධුරයට නැවත පත් කිරීම සිදුවන්නේ, රට තුළ දේශපාලනික අස්ථාවරභාවයක් සහිත පසු බිමකයි.
ප්‍රංශ ජනාධිපතිවරයට සහ ඔහුගේ ආණ්ඩුව සිදු කරනු ලබන කියාමාර්ග දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
ඒ අනුව, සෙබස්තියන් ලෙකෝර්නු ඇතුළු පස් දෙනෙකු වසර දෙකක් ඇතුළත සිය අග්‍රාමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වුණා. සෙබස්තියන් ලෙකෝර්නු අගමැති ධුරයට යළි පත් කිරීම පිළිබඳව අන්ත දක්ෂිණාංශික පක්ෂ ඇතුළු පක්ෂ රැසක් සිය විරෝධය පළ කර ඇති බව සඳහන්.
එළඹෙන අයවැය යෝජනාවලිය සහ නව රජය පාර්ලිමේන්තුවේදී පරාජය කරන බවට පක්ෂ රැසක් සිය ස්ථාවරය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
