ප්‍රබල රටවල් 3ක් පලස්තීනය රාජ්‍යක් බවට පිළිගනී

පලස්තීන රාජ්‍ය සංකල්පය පිළිගන්නා බව එක්සත් රාජධානිය පවසනවා.  අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ඊයේ මේ බව නිවේදනය කළා.   

  ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ පෘතුගාලයද පලස්තීන රාජ්‍යය විධිමත් ලෙස පිළිගන්නා බව නිවේදනය කර තිබෙනවා.  විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රංශය ද ඉදිරියේදී මේ බව නිවේදනය කරනු ඇති බවයි. මෙම තීරණයට ඊශ්‍රායලය, ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඇතැම් දේශපාලන කණ්ඩායම් දැඩි විවේචන එල්ල කර තිබෙනවා. එම රටවල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ කියා සිටියේ, පලස්තීන රාජ්‍යයක් බිහි නොවනු ඇති බවයි. පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් මෙම තීරණය පිළිගෙන තිබෙනවා. පලස්තීන අධිකාරිය වෙත ලිපියක් යොමු කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තහවුරු කර ඇත්තේ එය පලස්තීන රාජ්‍යයට ආරක්ෂාව, සාමය සහ යහපත් අසල්වැසිභාවය තුළ ඊශ්‍රායල  රාජ්‍යය සමඟ එකට ජීවත් වීමට මග පාදන බවයි. දැනට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 75% ක් පමණ පලස්තීන රාජ්‍යය පිළිගෙන තිබෙනවා. නමුත් පලස්තීනයට ජාත්‍යන්තරව එකඟ වූ සීමාවන්, වත්කම් සහ හමුදාවක්  නැහැ. පලස්තීන රාජ්‍ය පිළිගැනීම බොහෝ දුරට සංකේතාත්මකව පමණක් සිදු කෙරෙනවා.