කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර, අගලවත්ත මූලික රෝහලේ සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් ඊයේ (30) සිදු වුණා.
රෝහලේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතා අයිතියට පත් කළ සංවර්ධන ව්‍යාපෘති අතර මුලික ප්‍රතිකාර ඒකකය වාට්ටු සංකීරණයට සම්බන්ධ කරන ප්‍රධාන කොරිඩෝව සහ ලේඛණාගාරය ප්‍රධාන වූ අතර, මීට අමතරව අභිනව ව්‍යාපෘති ලෙස රෝහලේ ප්‍රධාන පිවිසුම හා ආරක්ෂක කුටිය ඇතුළු ඉදිකීරීම් කිහිපයක් විය. අළුත්වැඩියා කරන ලද වෛද්‍ය අධිකාරි නිල නිවස සහ වතුර මෝටර් කාමරය ද සේවා සඳහා ඊයේ දින සිට යොදා ගැනීමට නියමිතය.
ජනතා අයිතියට පත් කළ සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද මෙහීදී ලක් වු අතර බුලත්සිංහල, අගලවත්ත සහ පාලින්දනුවර 162,470 ක ජනතාවකට සෞඛ්‍ය සේවා සත්කාර සපයනු ලබන පිඹුර, අගලවත්ත මුලික රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක වන ආකාරයත්, ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරි සැලසුම් පිළිබඳවත් රෝහල් වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ඩී.ඒ.ආර්.කේ දිල්රුක්ෂි මහත්මිය අමාත්‍යවරයා දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කරන ල.
මෙහිදී පැවති උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ පිඹුර, අගලවත්ත මූලික රෝහලේ විශාල සංවර්ධනයක් පසුගිය කාලය තුළ සිදුව ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් මීට පෙර ගෙවුණු වසරේ අවස්ථාවක පිඹුර රෝහලේ සංචාරය කළ බවත් එදා තිබුණු තත්ත්වයට වඩා අද වන විට රෝහල අලංකාර තත්ත්වයකට පත්ව ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
රෝහලේ අනාගත සංවර්ධන කටයුතු පිළිබඳ සැලසුමක් පවතින බවත් රෝහලේ මානව සම්පත පිළිබඳව පවතින ගැටළුවට මෙම මෙම වසරේ දී විසඳුම් ලබා දිය හැකි වනු ඇති බවද පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවේ සංවර්ධන කටයුතුවල දී පිඹුර රෝහලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 60 ක් පමණ වෙන්කළ බවත්, ලබන වසරේ රුපියල් මිලියන 90 ක් පමණ වෙන් කිරීමට හැකියාව ලැබෙන ඇති බවද මෙහිදී අවධාරණය කරන ලදි.
පසුගිය වසරේ කළුතර දිස්ත්‍රික්කයේ සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති 290 ක් අතරින් 287 ක සංවර්ධන කටයුතු අවසන් කිරීමට පසුගිය වසරේ මාස හයක් වැනි කාලසීමාවක් තුළ රජයට හැකි වූ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලද අතර, සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය වෙන්කළ මුදල් නිසි කළමනාකරණයෙන් යුතුව යොදා ගනිමින් නියමිත කාලය තුළ එම සංවර්ධන ව්‍යාපෘති අවසන් කර ජනතාවට එම සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
මුලික රෝහල පිඹුර, අගලවත්ත තුළ දැනට බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, සුක්ෂම ප්‍රතිකාර ඒකකය, අධිකරණ වෛද්‍ය ඒකකයකින් සහ මාතෘ, ළමා, ශල්‍ය, වාට්ටු වලින් ද යුක්තය.
එමෙන්ම රෝහල තුළ දැනට ක්‍රියාත්මක ඒකක ලෙස රසායනාගාරය, විකිරණ ඒකකය, ඖෂධාගාරය, දන්ත සායනය, ඛන්තු රේඛන අංශය, සූතිකාගාරය, ශල්‍ය ගබඩාව හා ඖෂධ ගබඩාව, ශල්‍යාගාරය, භෞත චිකිත්සක ඒකකය, මිතුරු පියස සහ සෞඛ්‍ය අධ්‍යාපන ඒකක පෙන්වා දිය හැක.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ, බුලත්සිංහල ප්‍රාදේශීය සභා සභාපති සංජීව පුෂ්පකුමාර, පාලින්දනුවර ප්‍රාදේශීය සභා සභාපති සනත් ජීවානන්ද, අගලවත්ත ප්‍රාදේශීය සභා සභාපති ලලිත් කුමාර රත්න, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නවීන් ඩී සොයිසා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පෙරේරා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආපදා කළමණාකරන අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගිහාන් ද අල්විස්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන නිලධාරී සීතා පතිරගේ, වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ඩී.ඒ.ආර්.කේ දිල්රුක්ෂි, හිටපු කාර්යභාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්.කේ.එම්.ඩී.කරුණාතිලක යන මහත්ම මහත්මීන් මෙන්ම සියළුම අංශ ප්‍රධානීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, හෙද ඇතුළු රෝහලේ අනෙකුත් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
