
අද අපගේ විමසුමට ලක් වන්නේ “හව්හරණ” නමින් 2024 දී පළ වූ නවකතාවකි. එය දයානන්ද තිරිමාන්න ලේඛකයාගේ ප්‍රථම නවකතාව ලෙස ද සඳහන් ය. මේ ප්‍රබන්ධය උඩින් – පල්ලෙන් කියවන කෙනකු එය සාම්ප්‍රදායික – හම්පඩ – නවකතාවක් සේ සලකා ඉවතලන්නට පුළුවන. එහි නවකතාවේ නූතන විලාස, අලුත් මෝස්තර හා නව ප්රවණතා නැතැ’යි චෝදනා කරන්නටත් පුළුවන. එහෙත් මේ කතාවේ මදය හෙවත් අන්තර්ගතය ගතහොත්; අතිශය වැදගත් සමාජ සංවාදයකට අවශ්‍ය සාධක එහි පවතී. එය ශ්‍රී ලාංකේය සමාජ ක්‍රම විකාශයට ආරම්භ මානව ක්‍රියාවලියක් සේ හඳුන්වා දිය හැකි ය.
කතාවට පාදක වන්නේ නිදහසින් පසු අපේ රටේ සමාජ පරිවර්තනයට හේතු – සාධක වූ සිදුවීම් මාලාවකි. වඩාත් නිශ්චිතව කිවහොත් ඉහත සඳහන් සමාජ පරිවර්තනයට බලපෑම්කාරි වූ විශේෂ චරිත හා සුවිශේෂී සිදුවීම් මෙහිලා නිරූපණය කෙරේ. කතුවරයා ඒ බව සඳහන් කරන්නේ මෙසේ ය.
“නිදහසින් පසු ජන සමාජයෙහි ඇති වූ යම් – යම් වෙනස්කම් තුළින් ගමත් එහි ජනයාගේ ජීවිතත් වෙනස් වූ ආකාරය, ජනතාවගේ සිතුම් – පැතුම් හා ආකල්පවලට වූ පරිවර්තනය පිළිබඳ මා සිත තුළ යම් පෙරැළියක් ඇති කළේය. ”
“එම පරිවර්තනය රට තුළ ද යම් පෙරැළියක් ඇති කළේය. ගමක් හා එහි ජනතාවගේ වෙනස්වීම් ගැනත් නවකතාවක් රචනා කළ යුතු යැයි මා සිත තුළ පෙරැළි කරන්නට විය…. ”
(කතුවරයාගේ සටහන)
“හව්හරණ” නවකතාව අපගේ විඳීම් පරාසය අන්තර්ජාතික අත්දැකීම් වෙත යොමු කරන්නේ යැයි කිවහොත් එය පුරාජේරුවක් නොවේ. යටත්විජිතවාදයට හසු වූ ප්‍රධාන කලාප තුනක් අප සිහියට නැඟේ. අප්‍රිකානු මහාද්වීපය, ආසියානු මහාද්වීපය හා ලතින් අමෙරිකානු කලාපය (දකුණු අමෙරිකාව) ලෙසින් එම කලාප හඳුනාගත හැකිය. අප්‍රිකානු කලාපය බහුල ලෙසින් යටත් කර ගත්තේ බ්‍රිතාන්‍යය යැයි කිව හැකිය. ඉංග්‍රීසිකාරයාගේ පාලනයෙන් පසු ස්වදේශික සමාජ කණ්ඩායම් සිය ආර්ථික සමෘද්ධිය හා දේශපාලන නිදහස උදෙසා සංවිධානගත වූ ආකාරය 50 – 60 – 70 දසකවල අප්‍රිකානු සාහිත්‍යයේ දක්නට ලැබුණු විශේෂ ප්රවණතාවකි.
මහාචාර්ය චිනුවා අචෙබෙ යනු අප්‍රිකානු ප්‍රබන්ධ කතාවේ දැවැන්තයෙකි. ඔහු අප්‍රිකානු සාහිත්‍යයේ පුරෝගාමී චරිතය ලෙස ද සැලකේ. අචෙබේගේ පළමු නවකතාව වූ ‘තින්ග්ස් පෝල් එපාට්’ ප්‍රබන්ධයට පාදක වන්නේ නයිජීරියාවේ සමාජ කුලකයක් බටහිර සාංස්කෘතික ආක්‍රමණයට එරෙහිව ගෙන යන ක්රියාදාමයකි. සාම්ප්‍රදායික ගම දියුණුවට පත් කරන්නේ කෙසේ ද? ගමේ උරුමයන් සුරක්ෂිත කරගන්නේ කෙසේ ද? යන ගැටලුව ආසියාවට හා අප්‍රිකාවට පොදු ගැටලුවක් සේ සැලැකිය හැකි ය.
යටත්විජිතවාදයෙන් පසු අප්‍රිකානු හා ආසියානු සමාජවල ඇති වූ සමාජ පරිවර්තනය හා සාංස්කෘතික වෙනස්කම් නවකතාකරුවන්ගේ විශේෂ සැලැකිල්ලට ලක්විය. එහිලා කැපීපෙනුණු කරුණු කිහිපයක් ගැන සඳහන් කළ හැකිය.
(I) ග්‍රාමීය පරිසරය ශීඝ්‍රෙයන් නාගරීකරණයට ලක්වීම, ගැමි උරුමය විනාශවීම, නාගරීකරණයේ අනිටු විපාක හා මානව වටිනාකම් වෙනස්වීම.
(II) නව පාලක පන්ති බිහිවීම, ප්‍රභූ පන්තියේ පරිවර්තනය, නව ආර්ථිකයක් ස්ථාපිත වීම, කුල ක්‍රමය ක්‍රියාත්මක වීම හා ජාත්‍යන්තරයේ බලපෑම් වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වීම
(III) අධ්‍යාපනයේ වෙනස්වීම, විවිධ ලබ්ධීන් පැතිරයෑම හා සමාජයේ හර පද්ධතීන් වෙනස්වීම
ලතින් අමෙරිකානු රටවල දී ස්පාඤ්ඤ භාෂාවෙන් ද අප්‍රිකානු හා ආසියානු සමාජවල දී ඉංග්‍රීසි භාෂාවෙන් ද මේ කතා බහුල ව රචනා වී ඇත. ශ්‍රී ලංකාවේදී සිංහල භාෂාවෙන් රචනා වූ සැලැකිය යුතු ප්‍රබන්ධ සංඛ්‍යාවක් ද මීට එකතු විය යුතුය. ඒවා අන්තර්ජාතික සමාජ වෙතට ගියේ නැති වුව සාහිත්‍ය වටිනාකම්වලින් ඉහළ තත්ත්වයක පැවැතිණි. “ගම්පෙරළිය”, “පෙත්සම”, “අක්කර පහ” වැනි නවකතා ඉන්දියාව තුළවත් ප්‍රචලිත වූයේ නම්; අපේ නවකතාවේ අගය අන්තර්ජාතික තත්ත්වයට යනු ඇත.
යටත්විජිතවාදයෙන් බැට කෑ රාජ්‍යයන්හි සුබ-සාධනය සඳහා යම් කැපවීමක් කළ හා දැනට ද යම් අවධානයකින් ක්‍රියාකරන අන්තර්ජාතික සංවිධානයක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය හැඳින්විය හැකිය. 1960 ගණන්වල දී ආසියාවේ හා අප්‍රිකාවේ දුප්පත් රටවල ග්‍රාමීය සංවර්ධනය සඳහා මේ ආයතනය විශේෂ අවධානයක් යොමු කර තිබිණි. ඒ කාල පරිච්ඡේදය තුළ ග්‍රාමීය සංවර්ධනයට අදාළ වැදගත් පර්යේෂණ ගණනාවක් හා පුහුණු කිරීමේ වැඩසටහන් ගණනාවක් ද පොදු රාජ්‍ය මණ්ඩලය සිදුකර තිබේ. ඒවායෙහි හිතකර බලපෑම් ශ්‍රී ලංකාව තුළ ද දැකගත හැකි විය. ඉහත කී සිදුවීම් පිළිබඳ නිරීක්ෂණයක යෙදුණු කතුවරයා ද ඒවා ද උපයෝගී කරගනිමින් සිය කතාව ගොඩනඟා ඇති බව පෙනෙයි. සාකල්‍යෙයන් ගත් කල ඔහුගේ අවධානය යොමු වූ වැදගත් සාධක කිහිපයක් තිබේ.
(I) ග්‍රාම සංවර්ධනයේ දී හෝ පොදුවේ සමාජ වෙනස්වීම්වලදී පවුල නමැති සාධකය හා එම පවුලේ සමාජික- සාමාජිකාවන්ගේ චර්යා රටා කොතරම් බලපෑම්කාරී වන්නේ ද යන වග
(II) ගම හා ගමේ ඇත්තන්ගේ වෙනස්වීම් කෙරෙහි ඉඩම් ඇතුළු අනෙකුත් සම්පත් භාවිත වන ආකාරය හා ඒවා කොතරම් වැදගත් ද යන්න නිරීක්ෂණය කිරීම
(III) සමස්ත නාටකය තුළ සංකීර්ණ චරිත නිර්මාණය කිරීම, චරිතවල තමා කෙරෙහිම බලපවත්වන ප්‍රති – විරෝධතා කෙරෙහි පවා කතුවරයාගේ අවධානය යොමු වී ඇත.
(IV) කතුවරයා සත්‍ය සිදුවීම් පදනම් කරගෙන සිය රචනාව ගොඩනඟන බවක් පෙනෙයි. විශ්වසනීය බව මුළු කතාව පුරා ම රැඳී ඇත. ඔහු සමාජ යථාර්ථය නිරූපණය කරන බවක් පෙනෙයි.
(V) සමස්තයක් ලෙස ගත් කල ජීවිතයේ යථාර්ථය පිළිබඳ පාඩමක් ද, සමාජ චලනයන් පිළිබඳ වටහාගැනීමක් ද මේ කතාව ඔස්සේ ලබාගත හැකිය.
ග්‍රාමීය දරිද්‍රතාව හා එම දරිද්‍රතාවට එරෙහිව ගැමියා සංවිධානගත වී සටන් කිරීම සම්බන්ධයෙන් ඕනෑතරම් කතා ලියැවී ඇත. ඇතැම් කතා අඳෝනා වගේය. ඇතැම් කතා විප්ලවීය සටන් මාර්ගයක සටහන් බඳුය. බොහෝ කතාවල දුර්වලතාව නම් ඒවායෙහි ඇති ව්‍යාජ හා කෘත්‍රිම ස්වභාවයයි. දයානන්ද තිරිමාන්න ඉතා පරිස්සමෙන් සිය කතාව ගොඩනඟා චරිත අව්‍යාජ ලෙස හසුරවන අතර අපූරු පසුබිම් නිරූපණයක ද යෙදෙයි.
“සුද්දාගේ වත්තේ බෑවුම දිගේ පැමිණ වෙලට බට තාත්තා නියර දිගේ ඇවිත් අපේ ගමත් – වෙලත් වෙන් කරන දිය ඇළට බැස ඇඟපත දොවාගෙන පඳුරු අතරින් ගෙවත්තට ගොඩවිය.”
(පිටුව – 07)
අව්‍යාජ ගමක් හා එහි සුවිශේෂ චරිතයක් කතාව ආරම්භයේ දී ම පාඨකයා හමුවේ පෙනී සිටින්නේ ආකර්ෂණයක් සහිතවය. පාඨක ආකර්ෂණය ප්රබන්ධයක මූලික ලක්ෂණයක් වන්නේය. කතාව විකාශනය වන්නේ ගමේ සුවිශේෂී පවුලක් කේන්ද්‍ර කරගෙනය. එම පවුල ගිරංගේ පවුල ලෙස හැඳින්වේ. එහි තාත්තා හා ලොකු පුතා අතර හබයක් පවතී. කතුවරයා එය නිරූපණය කරන්නේ සංයමයකින් යුතුවය.
“පුරුද්දකට කුලී වැඩ නොකළත්, තාත්තා බොහෝ දිනවල වැඩට ගියේ ඔය කියන වත්තට ය. එය සුද්දෙකුගේය. අයියා කලෙක සිට සුද්දාගේ වත්ත උඩින් අපේ ගමට පාරක් ඉල්ලයි. සුද්දාගේ වත්ත මැදින් වැටී ඇති අඩි පාරවල් දිගේ ගොස් වත්තට ඔබ්බෙන් ඇති ගුරුපාරට ගොඩ වී නගරයට හෝ අපේ පාසලට හෝ පහසුවෙන් යා හැකි වේ…. ”
(පිටුව – 09)
තාත්තාගේ හා ලොකු පුතාගේ හබය පරම්පරා දෙකක ගැටුම මනාව නිරූපණය කරයි. මෙහි එන තාත්තාට ඇත්තේ වහල් මානසිකත්වයකි. ඔහු සුද්දාගේ සූරාකෑම හා කොල්ලකෑම නොදකියි.
“ලොකු එකා වලිකෑවාට අපට ඕව අයිති නෑ. අනෙක ඔය සල්ලි ඇතෑ ඌට ඉඩම් ගන්ඩ ”
තාත්තා කියයි.
(පිටුව – 23)
“ඌ එහෙම කිව්ව ද? මට සුද්දා ළඟ හෑල්ලු වෙන්ඩ ?”
(පිටුව – 24)
කතුවරයා පරම්පරා දෙකක ගැටුම නිරූපණය කළ ද ලේබල් චරිත නිරූපණයක යෙදෙන්නේ නැත. තාත්තා සුද්දාට ගැතිකම් කරන්නේ වුව සුද්දාගේ වත්ත වෙන්දේසි කරනවිට ඔහු තුළ ඇත්තේ යම් සතුටකි. ඔහු ද ලොකු පුතාට ඉඩම් කෑල්ලක් ලබා දීමට ඇත්නම් යැයි කල්පනා කරයි.
එදා කුල ක්‍රමය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ඉඟියක් පොතට ඇතුළත් කර ඇත්තේ සූක්ෂ්ම ලෙස ය.
“ලොකු මහත්තයාගේ පළමු ප්රශ්නය වූයේ අපේ ගම ගැන විමසීම ය. එහි අරුත මට පැහැදිලි වූයේ පසුවය. ගමේ නම අසා ඇත්තේ කුලගොත් විමසීමටය. එදින කාල වේලා බොහෝ ගත වී තිබූ බැවින් ගල්ලෑලි, පොත් ද රැගෙන පසුවදා එන ලෙස ඉස්කෝල මහත්තාගෙන් අණ ලැබිණි. ”
(පිටුව – 43)
“අපේ බාල මල්ලීගේ නම හේවා පේඩිගේ පියදාස බව දැනගත්තේ අම්මා බොලෝඤ්ඤ මහත්තයාට නම කියන විටදී ය. ගමේ හැමෝම පාහේ එකිනෙකා හඳුන්වන්නේ නම් කෑල්ලකිනි. කූපන් පොත්වල වුව ද ඇත්තේ එච්.පී.ගිරා, අගා ඔබියා, ඇගී, රොයි දා වැනි නම් ය.”
(පිටුව – 43)
ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය, ආගමික ව්‍යාප්තිය හා ආර්ථික පරිවර්තන ඇතුළු සමාජ චලන බොහොමයක් පිළිබඳ සත්‍ය තොරතුරු කතාවට ඇතුළත්ය. ඒ අර්ථයෙන් ගත් කල සමාජ ක්‍රම – විකාශය ගැන හදාරන විද්‍යාර්ථියකුට වුව මේ කතාවෙන් බොහෝ ප්‍රයෝජන ගත හැකිය.
කතාවට මීට වඩා යටි අරුත් සහිත ආකර්ෂණයෙන් යුතු නමක් යොදා ගත්තේ නම් වටිනාකම වැඩිය. කතුවරයාගේ භාෂා භාවිතය දියුණු නැත.