භාරතීය පුතුන්ට ජය

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය යටතේ පකිස්තානය සමග ඊයේ පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.  තරගය පැවැත්වුණේ ඩුබායිහිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් රැස් කළා.  සහීබ් රාසා ෆර්හාන් ලකුණු 58 යි.  සයිම් අයුබ් සහ මොහොමඩ් නවාස් ලකුණු 21 බැගින් ලබා ගත්තා.  පන්දු යැවීමේදී ෂිවාම් ඩුබේ කඩුලු 2 යි.  පිළිතුරු ලෙස ඉන්දීය ඉනිම ආරම්භ කළේ, අභිෂේක් ෂර්මා සහ ශුබ්මන් ගිල්.  ඔවුන් දෙදෙනා ආරම්භ කළ කඩුල්ලට ලකුණු 105 ක සබඳතාවක් ගොඩනැගුවා.  එය වාර්තා වන්නේ පාකිස්ථානයට එරෙහිව 20-20 තරගයකදී ඉන්දීය ආරම්භක පිතිකරු යුගලයක් වාර්තා කළ ඉහළම සබදතාව ලෙසයි.  පළමු කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් ලකුණු 47 කට දැවී ගියා.  අභිෂේක් ෂර්මා පන්දු 39 කදී ලකුණු 74 ක් රැස් කළේ, හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් සමග.  ඉන්දියාව තරගය ජය ගත්තේ පන්දුවාර 18 යි පන්දු 5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් රැස් කරමින්.