කිතුණුවන් බැතියෙන් සිහිකරන මහ බ්‍රහස්පතින්දා දිනය අදට යෙදී තිබෙනවා.
ලෝකවාසී කිතුණු බැතිමතුන් ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය සිහිපත් කිරීම අද සිදු කරනවා.
ජේසුස් වහන්සේ තම උතුරුසලුව ගලවා දමා සේවකයෙකු සේ, තම ගෝලයන් වෙත ගොස්, ඔවුන්ගේ පාද දෝවනය කර සිප ගැනීම අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේ දී සිදුවූ වැදගත් සිදුවීමක්. ඉන් ලබා දෙන පණිවුඩය වන්නේ, නායකත්වය තුළ තිබිය යුතු බැගෑපත්කම පෙන්වීම හා සහෝදර ප්‍රේමය මතු කර දැක්වීමයි.
රාත්‍රී භෝජනයෙන් පසු ගෙත්සෙමනි නම් උයනට ගොස් පැමිණෙන විට ඔහුගේම ගෝලයෙකු වන ජුදාස් විසින් උන්වහන්සේව සිපගනිමින් ජුදා හේවායන්ට පාවාදෙනු ලැබීය.
එම සිදුවීම මහ බ්‍රහස්පතින්දා සවස පවත්වනු ලබන දිව්‍ය පූජාවේ දී ලෝකවාසී කිතුණු ජනතාව සිහිපත් කරනු ලබයි.
මහ බ්‍රහස්පතින්දා විශේෂ දේවමෙහෙය රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ පාප්වහන්සේ විසින් පවත්වනු ලබයි.
කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් මහ බ්‍රහස්පතින්දා දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා දේව ස්ථානයෙ පවත්වනු ලබයි.
මහ බ්‍රහස්පතින්දා ආරම්භ වන පාස්කු පිළිවෙත අවසන් වන්නේ, ආලේලූයා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවෙන්.
