යෝෂිතට සහ මිත්තනියට අධි චෝදනා

යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරොස්ට් යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (02) අධි චෝදනා භාර දුන්නා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයි.

2009 වසරේ මාර්තු මස 31 වැනිදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා අතර කාලසීමාව තුළ නෛතික නොවන ලෙස උපයාගත් රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි, චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩු පවරා තිබෙනවා.

විත්තිකරුවන්ගේ ඇඟිලි සළකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා නියෝග කළා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වැනිදා කැඳවීමට නියමිත බව සඳහන් කළා.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාල ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවයි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද, නඩුව අගෝස්තු මස 4 වැනිදා යළි කැඳවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.