මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සුභවාදී ආකල්ප ඉහළ ගොස් ඇති බව වේරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.
රජයට ඉහළ අනුමැතියක් පවතින අතර එම ආයතනය සිදු කළ “රට හිතන හැටි” මත විමසුමට අනුව ආර්ථික විශ්වසනීය දර්ශකය මෙතෙක් වසර හතරක මත විමසුම් ඉතිහාසය තුළ ඉහළම අගය වාර්තා කර තිබෙනවා. ඒ ධන 14 සිට ධන 36 දක්වායි.
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සියයට 62 සිට සියයට 65 දක්වා වර්ධනයක් පෙන්නුම් කරන බවද අදාළ වාර්තාවේ සඳහන්.
මෙම නවතම මත විමසුම සිදු කරඇත්තේ දිවයින පුරා විසිරි සිටින වෙන් වෙන් පවුල් ඒකකවලට අයත් ශ්‍රි ලාංකික වැඩිහිටියන් 1,048 දෙනෙකුගෙන් සමන්විත සසම්භාවි ක්‍රියාවලියක් ඔස්සේ තෝරාගන්නා ලද බහු පියවර නියැදියක් මගින්.
මත විමසුම 2026 ජනවාරි 24 වැනිදා සිට පෙබරවාරි 3 දක්වා කාලසීමාව තුළ පවත්වා තිබෙනවා.
ඒ අනුව වේරිටේ රිසර්ච් මත විමසුමට අනුව වසරේ පෙබරවාරි මුල් කාලසීමව වනවිට ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය වාර්තා වී ඇත්තේ, සියයට 65 ක් ලෙසයි.
මීට වසරකට පෙර පැවැති සියයට 62 ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මෙරට ජනතාවගේ සුභවාදී ආකල්පය ස්ථායි මට්ටමක පවතින බව ද වේරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.
මත විමසුමට අනුව නිරීක්ෂණය වන්නේ ඉකුත් සිව් වසරක ඉතිහාසය තුළ ප්‍රථම වරට පවතින ආර්ථීක තත්වය “යහපත්” හෝ “විශිෂ්ට” ලෙස ඇගයූ පිරිස එය “දුර්වල” ලෙස ඇගයූ පිරිස ඉක්මවා ගොස් ඇති බවයි.
රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව සුභවාදී මතයක් දැරීමද මෙවර දැකගත හැකියි. ආර්ථිකය යහපත් වෙමින් පවතින බව පැවසූ පිරිස වසරකට පෙර පැවැති සියයට 55 ක අගයේ සිට සියයට 64 දක්වා ඉහළ ගොසින්.
ආර්ථිකය නරක අතට හැරෙන බව පැවසූ පිරිසෙහි වෙනසක් සිදුවී නැහැ. ආර්ථිකය පිළිබඳ පවතින සියලුම ආකල්ප ආර්ථික විශ්වසනීය දර්ශකයක් ලෙස ඒකරාශි කර තිබෙනවා.
මීට වසරකට පෙර ධන 14 ක් ලෙස සටහන්වූ මෙම දර්ශකය මෙවර එය ධන 36 දක්වා ඉහළ ගොස් ඇති අතර එය විශාල වර්ධනයක්. ජනතාවගෙන් බහුතරයක් වර්තමානයේ රටේ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබදව සිය තෘප්තිමත් භාවය ප්‍රකාශ කර තිබෙනවා.
එය අදාළ ජනතාවගෙන් සංඛ්‍යාත්මකව සියයට 59 ක්. වේරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ, වසර 04 ක මත විමසුම් ඉතිහාසය තුළ රට ගැන ජනතාවගේ තෘප්තිය සියයට 50 මට්ටම ඉක්මා ගිය පළමු අවස්ථාව මෙය බවයි.
විවිධ අංශ ඔස්සේ පෙර පැවති රජයන්ට සාපේක්ෂව වත්මන් රජය ඇගයීමේදි ධනාත්මක ඇගයීම ඉහළින්ම පවතින්නේ, මත්ද්‍රව්‍ය සහ අපරාධ අවම කිරීම සම්න්ධවයි. එය දුෂණය අඩු කිරීම සම්බන්ධව තිබු ඇගයීමටත් වඩා ධනාත්මක බව වේරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.