ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අද (08) ජාතික සැමරුම් උත්සවයක්.

·        මෙරට ජනගහණයෙන්  10 % කට විවිධ මානසික රෝග

·        ජනගහණයෙන්  සියයට 2 % කට බරපතල  මානසික සෞඛ්‍ය රෝගී තත්වයන්

·        2024 වසරේ රෝගීන් 37,000 කට ආසන්න ප්‍රමාණයක් මානසික සෞඛ්‍ය සායන වලින් ප්‍රතිකාර ලබා ගෙන ඇත.

-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කරයි.

ආපදා සහ ව්‍යසන අවස්ථාවල දී  අනෙකුත් ප්‍රතිකාර සඳහා මූලිකත්වය ලබාදෙන අයුරින්ම මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර ප්‍රතිකාර සඳහා ද මූලිකත්වය ලබාදිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත පැවැත් වූ ජාතික සැමරුම් උත්සවය අද (08) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ සමරනු ලබන මෙම දිනය මෙම වර්ෂයේ දී “ආපදා සහ හදිසි අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට” යන්න තේමා කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

මානසික සෞඛ්‍ය සම්බන්ධව වු සංවිධානාත්මක ජාලය හා එය ස්ථාපිත කිරීම පිළිබඳව දැඩි ප්‍රශ්ණයක් සහ ගැටළුකාරීබවක් අප රට තුළ වන බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.

මානසික සෞඛ්‍ය පිළිබඳ ඉහළ අවධානයක් යොමු විය යුතූ බවත්, මෙම සේවාව මෙරට ස්ථිරසාර ලෙස ස්ථාපිත කළ යුතු බව ද පැවසීය.

පසුගිය කාල පරිච්ඡේදයේ මෙරට  සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ජනතාව ස්වභාවික විපත්, හදිසි ආපදා, වසංගත තත්ත්වයන් මෙන්ම ආර්ථික අභියෝග වලට දිගින් දිගටම මුහුණ දුන් බවත්, එවැනි ආපදා සහ ව්‍යසන අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය වන බවත්, එම අවස්ථාවල අනෙකුත් ප්‍රතිකාර වලට මූලිකත්වය දෙනවා මෙන්ම මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර ප්‍රතිකාර සඳහා ද මූලිකත්වය ලබාදිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.

 මානසික සෞඛ්‍ය සේවා ජනතාව වෙත ගොස් සිදු කිරීම වඩා වැදගත් බවත්, මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවට පවතින තත්ත්වයට වඩා පිළිගත් සහ විධිමත් වැඩපිළිවලක අවශ්‍යතාව වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එය එසේ නොවූ විට අවිද්‍යාත්මක ප්‍රවේශ මගින් මෙම පරතර පිරවීමට කටයුතු කීරීම තුළින් ගැටළු ඇතිවන බව ද පැවසීය.

මානසික සෞඛ්‍ය සේවාවට මනා පිළිගැනීමක් සහ මූලිකත්වයක් ලබාදිය යුතු බවත්, මානසික සෞඛ්‍ය හා උපදේශණ සේවා ඇතුළු කටයුතු සඳහා ලබන වසරේ ද වැඩි මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ අතර, මෙරට මානසික සෞඛ්‍ය සේවාව ලොව හොඳම මානසික සේවාව බවට පත් කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් පැවසීය.

මෙරට ජනගහණයෙන්  10% ක් පමණ විවිධ මානසික රෝග තත්ත්ව වලින් පෙළෙන බවත්, සියයට 2% කට පමණ බරපතල  මානසික සෞඛ්‍ය රෝගී තත්වයන් වන බවත් මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා  පැවසීය.

2024 වසරේ රෝගීන් 37,000 කට ආසන්න ප්‍රමාණයකට මානසික සෞඛ්‍ය සායන වලින් ප්‍රතිකාර කර ඇති බවත්, සියදිවි හානි කර ගැනීම සඳහා ද මානසික රෝගී තත්ත්වයන් හේතු වී ඇති බව ද මෙහි දී පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හදිසි අවස්ථාවන් වල දී ලබාදෙන මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමට මෙම සැමරුම් උත්සවය හේතු කාරක වනු ඇති බව ද පැවසීය.

බොහෝ දෙනෙක් හට නොදැනුවත්ම මානසික රෝග වන බවත්, බොහෝ දෙනෙක් මානසික සෞඛ්‍ය පිළිබඳ දක්වන උනන්දුව ද අවම බව ද මීට වඩා ඒ පිළිබඳ ජනතාව සිය අවධානය යොමු කළ යුතු බව ද මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය අංශ මෙන්ම සියලු දෙනා එක්ව මෙම අභියෝගය ජයගත යුතු බව ද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

මෙහි දී කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා විසින් “හදිසි ආපදාවක දී මානසික සෞඛ්‍ය සදහා ප්‍රවේශය” යන තේමාව යටතේ විශේෂ දේශණයක් පැවැත් වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නොවිල් විජේසේකර මහතා විසින්  “හදිසි අවස්ථාවක දී සාමුහික වගකීම” යනුවෙන් දේශනයක් ද පවත්වන ලදි.

මානසික සෞඛ්‍ය වෙනුවෙන් දිනයක් වෙන් කීරීමේ මූලික පරමාර්ථය නම් ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය වර්ධනයට සහය වීම සඳහා ගනු ලබන උත්සාහයන් දිරිගැන්වීමයි. මානසික සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන පාර්ශවයන්ට මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව කතිකා කිරීමට සහ ලොව පුරා මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා තවදුරටත් කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට මෙම දිනය ඉතා වැදගත් වනු ඇත.

ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි. එය ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යට, අනෙක් පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන ආකාරයට, එසේම ජීවනෝපායට පවා බලපෑම් ඇති කළ හැකි බවත්, නව යොවුන් වියේ පසුවන්නන් සහ යෞවනයන් අතර මානසික සෞඛ්‍ය ගැටළු වර්ධනය වීමක් දැක ගත හැකි බවද එම සංවිධානය සඳහන්  කරයි.

මෙම අවස්ථාවට  අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජියන්, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් , විෂයට අඳාළ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා සංවිධාන, සිවිල් සංවිධාන නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියහ.