වයඹ-බස්නාහිර යා කරන මැල්ලවගෙදර පාලම අඳුරේ

වයඹ සහ බස්නාහිර පළාත් යා කරමින් මා ඔය හරහා 2006 වසරේ ඉදි කරන ලද මැල්ලවගෙදර පාලම මත සවිකර ඇති විදුලි පහන් කණුවලට මෙතෙක් විදුලිය ලබා නොදීම හේතුවෙන් එම ප්‍රදේශයේ රාත්‍රී කාලය තුළ විවිධ අපචාර සිදු වන බව ඒ අවට ජනතාව පවසති.

මෙම පාලම ඔස්සේ දිනපතා දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ රථවාහන විශාල ප්‍රමාණයක් හා බොහෝ ජනතාවක් පයින් ගමන් කරන බවත්, විදුලිය නොමැතිකම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත් ඔවුහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැල්ලවගෙදර පාලම ආසන්නයේ පිහිටි ශෛලපබ්බත විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී මාබෝදලේ ධම්මපවර හිමියෝ මෙසේ පැවසූහ.

“මේ පාලම ඉදිකළේ 2006 වසරේ. දැනට වසර 19ක් වෙනවා. කණු හිටවලා තිබුණට තවම විදුලිය නැහැ. මම අවස්ථා ගණනාවකදීම අදාළ අංශ දැනුම්වත් කළා. නමුත් තවම විසඳුමක් ලැබුණේ නැහැ. වයඹ හා බස්නාහිර පළාත් යා කරලා තමයි මේ පාලම හදලා තියෙන්නේ. ඒක නිසා දෙපැත්තට අදිනවා.

පාලම මත විදුලිය නොමැති නිසා මෙම ස්ථානයේ බොහෝ දුරාචාර සිදු වෙනවා. විශේෂයෙන් නිවෙස්වල හා වෙළෙඳසල්වලින් බැහැර කරන කැළිකසළ වාහනවලින් ගෙනැවිත් පාලමෙන් මා ඔයට දාලා යනවා. මේ පන්නල නගරය හා ඒ අවට ජනතාව පානය කරන්නේ මා ඔයේ ජලය. කොච්චර පිරිසුදු කළත් අර බැහැර කරන අපද්‍රව්‍ය මා ඔය ජලයට එකතුවෙලා තියෙනවා. අනෙක් කාරණය තමයි පාලමේ විදුලි බලය නොමැති නිසා නීති විරෝධී මත්ද්‍රව්‍ය දෙපැත්තට මාරු කරගන්න මෙතැන හොඳ තෝතැන්නක්. නීති විරෝධීව ප්‍රවාහනය කරන දැව, ගවයන් ඇතුළු සතුන් මේ සෑම දෙයක්ම කිසිම බියක් සැකක් නැතුව මෙම පාලම මතින් දෙපැත්තට හුවමාරු වෙනවා. වයඹ සහ බස්නාහිර පළාත් දෙක දෙපැත්තට ඇද්දහම ඒකෙන් පීඩාවට පත් වෙන්නේ පාලම ආසන්නයේ සිටින ජනතාව. මම බලධාරීන්ට කියන්නේ මෙම පාලම මත ඉදි කර තියෙන කණුවලට අවශ්‍ය විදුලිබලය ලබා දෙන්න කියලයි.”