දකුණු ඉන්දියාවේ පැවති දේශපාලන රැලියක් අතරතුර හටගත් තේරපීමකින්, 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.
සුප්‍රකට ඉන්දීය නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන විජේගේ මැතිවරණ ප්රචාරක රැලියක් අතරතුරයි මෙම තෙරපීම හට ගැනුණේ.
තමිල්නාඩු ප්‍රාන්තයේ “කරූර්” දිස්ත්‍රික්කයේ ඊයේ පැවති මෙම දේශපාලන රැලියට දහස් ගණනක ජනකායක් එක්ව සිටි බව වාර්තා වනවා.
තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් මේ වනවිට දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි එරට රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
විජේගේ පැමිණීමත් සමඟ එහි රැස්ව සිටි අධික ජනකාය එක් වරම පාලනය කරගත නොහැකි තත්වයක් හටගත් බව ඉන්දීය පොලීසිය සඳහන් කරනවා.
මියගිය පිරිස අතර කාන්තාවන් සහ දරුවන් ද සිටින බව සඳහන්. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විපතට පත් සියලු දෙනා වෙත සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටැලින් සිය ශෝකය පළ කරමින් කියා සිටියේ, මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත ඉන්දීය රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට සියලු පියවර ගන්නා බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළා.
