විදුලිබලේ අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.   ඒ, ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ නියමයෙන්.  

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනයට ඊයේ අත්සන් කර තිබෙනවා. උපලේඛනයන්හි සඳහන් වන සේවාවන් සැපයීමෙහි නිරතවන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ දෙපාර්තමේන්තුවකින් හෝ පලාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පලාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකයින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවා පූර්වෝක්ත වගන්තියේ කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බවට මෙම නියමයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.