විපතට පත්වූවන් මුදාගැනීමට ගිය බෝට්ටුවක් පෙරළී 5ක් මරුට

‍පකිස්තානයේ පන්ජාබ් පළාතේ ගංවතුරින් විපතට පත් වූවන් මුදාගැනීමේ මෙහෙයුම්වලට එක්කර තිබූ බෝට්ටුවක් පෙරළී යාමෙන්, පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

බලධාරීන් ප්‍රකාශ කළේ, පිරිසක් බේරා ගැනීමට හැකි වූ බවයි.

පන්ජාබ් පළාතේ “මුල්තාන්” දිස්ත්‍රික්කයේ ඊයේ සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් අතරතුර, බෝට්ටුවක් පෙරළී ගොස් ඇති බව පකිස්තාන ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළා.

“රවී සට්ලෙජ්” සහ “චෙනාබ්” යන ගංගා පිටාර ගැලීමෙන්, ගම්මාන හාරදහසකට වැඩි සංඛ්‍යාවකට ජල ගැලීම් සිදුව තිබෙනවා.

ආරක්‍ෂක ස්ථාන වෙත යොමු කරනු ලැබ ඇති පිරිස, මිලියන 2කට අධිකයි.

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන කඳවුරු 423 ක් පිහිටුවා ඇති අතර එම ජනතාව සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන 512 ක් ද ක්‍රියාත්මකයි.

පකිස්තානයේ මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග හටගත් ගංවතුරින්, ඉකුත් ජූනි සිට මේ දක්වා 900 කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.