සමස්ත ඉන්දීය වැසියන්ගේ හදවත් ප්‍රීතියෙන් සහ අභිමානයෙන් පුරවමින්, විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඓතිහාසික ජයග්‍රහණය ඉන්දීය ක්‍රීඩකයින්ගේ සුවිශේෂී දක්ෂතාව, කැපවීම සහ සාමූහික ප්රයත්නය මැනවින් පිළිබිඹු කරන බවයි.
තරගාවලිය පුරා ඉන්දීය කණ්ඩායම ප්‍රදර්ශනය කළ විශිෂ්ට ක්‍රීඩා විලාසය අගය කළ අග්‍රාමාත්‍යවරයා, මෙම ජයග්‍රහණය මුළුමනින්ම ඉන්දීය ජනතාවට හිමි වූ සතුටක් බව ද සඳහන් කර තිබෙනවා.
අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී නවසීලන්තය ලකුණු 96කින් පරාජය කරමින් ඉන්දියාව මෙම ලෝක කුසලාන කිරුළ හිමිකර ගත්තා.
මේ සමඟින් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ තෙවරක් ශූරතාව දිනූ පළමු කණ්ඩායම ලෙස ඉන්දියාව වාර්තා අතරට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ මේ වන විට ඉන්දියාව පුරා උත්සව සිරි ගෙන ඇති අතර, ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය ඇතුළු එරට දේශපාලන නායකයින් රැසක් ද කණ්ඩායම වෙත සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
