ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර, දෙවැනි එක් දින ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. 

ඒ අනුව, ශ්‍රී ලංකාව තරගාවලිය ජයගත්තේ තරග 2 ට 0 ක් ලෙසයි. 

හරාරේ හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්නා. 

ඒ අනුව, සිම්බාබ්වේ ඉනිම ආරම්භ කළේ, බ්‍රයන් බෙනට් සහ බෙන් කරන්. 

ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 55 ක් වන විට බ්‍රයන් බෙනට් ලකුණු 21 කට දැවී ගියා.‍ 

දෙවැනි කඩුල්ල ලෙස බ්‍රෙන්ඩන් ටේලර් දැවී ගියේ ලකුණු 20 කට.  සිම්බාබ්බේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් කරන් ලකුණු 79 ක් රැස් කළා. 

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් රැස් කළා.  සිකන්දර් රාසා නොදැවී ලකුණු 59 යි.  පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3 ක් දවා ගත්තා. 

අසිත ප්‍රනාන්දු කඩුලු 2 යි.  පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ නුවනිදු ප්‍රනාන්දු.  පළමු කඩුල්ල ලෙස නුවනිදු ලකුණු 14 කට දැවී ගියා. 

කුසල් මෙන්ඩිස් ලකුණු 6 ක් ලබාගත් අතර, සදීර සමරවික්‍රම ලකුණු 31 යි. 

ශ්‍රී ලංකා ඉනිම සිව්වැනි කඩුල්ල සඳහා පැතුම් නිස්සංක සහ නායක චරිත් අසලංක ලකුණු 91 ක සබඳතාවක් ගොඩනැගුවා. 

පැතුම් නිස්සංක තම එක් දින ක්‍රිකට් දිවියේ 7 වැනි ශතකය වාර්තා කරමින්, ලකුණු 122 ක් ලබා ගත්තා. 

නායක චරිත් අසලංක වාර්තා කළේ, තම එක් දින ක්‍රිකට් දිවියේ 17 වැනි අර්ධ ශතකය.  ඔහු ලකුණු 71 යි. 

ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 49 යි පන්දු 3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 278 ක් රැස් කරමින්. 

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම පැතුම් නිස්සංකට හිමි වුණා.  දෙරට අතර, පළමු 20-20 තරගය ලබන 3 වැනිදා හරාරේ හිදී පැවැත්වෙනවා.