සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිකට් තරු

2024 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කමිදු මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා.

විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි අතපත්තු.

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ කොළඹදී පැවැත්වුණා.

සම්මාන උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

2024 වසරේ ටෙස්ට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් අතරින් දක්ෂතම පිතිකරුවා ලෙස කමිඳු‍ මෙන්ඩිස් සම්මාන දිනා ගත් අතර, දක්ෂතම පන්දු යවන්නා ‍ප්‍රභාත් ජයසූරිය.

දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස ධනංජය ද සිල්වා සම්මාන දිනා ගත්තා. 2024 වසරේ එක්දින පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් අතරින් දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනා ගත්තේ, පැතුම් නිස්සංක.

දක්ෂතම පන්දු යන්නා ලෙස වනිඳු හසරංග සම්මාන දිනා ගත්තා.

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා චරිත් අසලංක. 2024 වසරේ 20-20 පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් අතරින් දක්ෂතම පිතිකරුවා වුණේ, කුසල් මෙන්ඩිස්.

දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයම වනිදු හසරංගට හිමි වුණා.

2024 වසරේ කාන්තා එක්දින පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් අතරින් දක්ෂතම පිතිකාරිනිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා.

දක්ෂතම පන්දු යවන්නිය සම්මානය දිනා ගත්තේ, කවීශා දිල්හාරි.

2024 වසරේ කාන්තා 20-20 පිටියේ සම්මාන ත්‍රිත්වයම චමරි අතපත්තුට හිමි වීම විශේෂත්වයක්.

2024 වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වුණේ, ජනිත් ලියනගේට.

2024 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්. විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා.