සිංහ – එංගලන්ත කාන්තා ක්‍රිකට් ගැටුම අද

‍ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින පිටියේදි සහභාගි වන 200 වැනි තරගය මෙයයි.

තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාගංණයේදි පුහුණුවීම්වල නිරත වුණා.

එංගලන්තය සමග මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක්දින තරග 20 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඉන් ජයග්‍රහණය කිරීමට හැකිව තිබෙන්නේ එක් තරගයක් පමණයි.

එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ තරග 199 ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන් තරග 67 ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ ශ්‍රි ලංකාව පරාජය වූ අතර, එම තරගයේදි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතුණා.

තරගය අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිත අතර, එම තරගය ප්‍රවේශපත්‍ර නොමැතිව ක්‍රීඩාංගණයට පැමිණ නැරඹිමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදී තිබෙනවා.