සුමති සම්මාන උලෙළේදී ජාතික රූපවාහිනියට සම්මාන රැසක්

30 වැනි සුමති සම්මාන උලෙළ, තලවතුගොඩ “මොනාජ් ඉම්පීරියල්” හෝටලයේදී ඊයේ පැවැත්වුණා. ජාතික රූපවාහිනිය ද  එහිදී සම්මානවලින් පිදුම් ලැබුවා.

සියලුම රූපවාහිනී නාලිකා ඉකුත් වසරේ විකාශය කළ ටෙලි නාට්‍ය සහ වැඩසටහන් සම්මාන උලෙළේ දී ඇගයීමට ලක් කෙරුණා.

2024 වසරේ හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය, ජාතික රූපවාහිනියේ ජයමිණි ඉලේපෙරුම අධ්‍යක්‍ෂණය කළ “ක්‍රිකට් ගමට” වැඩසටහනට හිමිවුණා. 2024 හොඳම ළමා වැඩසටහනට හිමි සම්මානය හිමිවූයේ, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ පුෂ්පිත පීරිස් අධ්‍යක්‍ෂණය කළ “ටියුෂාන්” වැඩසටහනටයි.

‍ජාතික රූපවාහිනියෙන්  විකාශය වූ “වියළි” ටෙලි නාට්‍යය සම්මාන 5 කින් පිඳුම් ලැබුවා. වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායනය වෙනුවෙන් සම්මාන හිමිකර ගත්තේ, රිද්මිකා මධුභාෂිනි සහ තුසිත් සිම්සන්.  වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර  වූයේ “වියළි” ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළ දර්ශන් රුවන් දිසානායක යි.

වසරේ හොඳම ටෙලිනාට්‍ය ගීත රචනය වෙනුවෙන් ගයා රම්‍ය අල්විස් සම්මානයට පාත්‍ර වුණා.

“වියළි” ටෙලිනාට්‍ය ‍රඟපෑ නිම්මි මනෝහාරි   වසරේ නැගී එන නිළියට හිමි සම්මානයෙන් පිඳුම් ලැබුවා.ජාතික රූපවාහිනියේ විකාශය වූ “ෆ්ලැට් නොවන ෆ්ලැට්” ටෙලි නාට්‍යයේ රඟපෑ රංජනී රාජ් මෝහන් විශිෂ්ට රංග ප්‍රතිභාවට හිමි කුසලතා සම්මානය හිමිකර ගත්තා.