සෞදියට එල්ල වූ ප්‍රහාර මාලාවක් ගුවනේදීම ව්‍යර්ථ කෙරේ

සෞදි අරාබියේ ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර එල්ල කෙරුණු බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් සාර්ථකව මැඩපැවැත්වීමට එරට ආරක්ෂක අමාත්‍යාංශය සමත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පවතින ඉරාන වත්කම් අත්හිටුවීම සඳහාද එරට රජය සලකා බලමින් සිටින බවයි.

සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල තුනක් එල්ල වී ඇති අතර, සෞදි ගුවන් ආරක්ෂක බලකාය විසින් ඒවා අතරමගදී විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයා තහවුරු කර සිටිනවා.

මේ අතර ඉරානයට අයත් ඩොලර් බිලියන ගණනක වත්කම් අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරනවා.

එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි පියවරක් මගින් ඉරානයේ විදේශ විනිමය ජාලයන්ට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි.

ඉකුත් සෙනසුරාදා ආරම්භ වූ යුදමය තත්ත්වයත් සමඟ කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.