ෆෙඩරල් අමාත්‍ය අතාවුල්ලා තාරාර් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

ෆෙඩරල් තොරතුරු හා ප්‍රචාරණ අමාත්‍ය අතාවුල්ලා තාරාර් මහතා මෙරට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අතර හමුවක් අද (20දා) සිදු විය. ශ්‍රී ලංකාවේ එරට මහ කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, නියෝජ්‍ය මහ කොමසාරිස් ක්‍රිස්ටි රොබින් සහ උපදේශක (ආරක්ෂක) බ්‍රිගේඩියර් ජී.ඒ.කේ.ආර්. ගුණරත්න ද මෙම හමුවට සහභාගී වූහ.

​දෙරට තුළ ක්‍රිකට් ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීම, ක්‍රීඩා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහි දී සාකච්ඡා පැවැත්විණි. ජනතාව අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ මාධ්‍යයක් ලෙස ක්‍රීඩාව හඳුනා ගනිමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ද සාකච්ඡා පැවැත්විය.

​තොරතුරු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා විශ්වාසය, ගෞරවය සහයෝගීතාවය මත ගොඩනැගී ඇති බවයි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තරුණ පරපුර සමීප කරවීමට පමණක් නොව දෙරටේ ජනතාව අතර බැඳීම තවදුරටත් ශක්තිමත් කරන බව ද තාරාර් මහතා අවධාරණය කළේය.

කලාපයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා පාකිස්ථානය පියවර ගනිමින් සිටින බව ෆෙඩරල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ක්‍රීඩා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය ලබාදෙන සහයෝගය පිළිබඳව තොරතුරු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අයවැය සැසියක් පැවතියද, නියෝජ්‍ය අමාත්‍යවරයා පාකිස්ථානයට පැමිණීම දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සහ විශ්වාසනීය සබඳතාවේ පැහැදිලි ප්‍රකාශනයක් බව ද තොරතුරු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම පාකිස්ථානයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා සහභාගී වීමට නියමිතය.