2025 හජ් වන්දනාව සාර්ථකව නිම කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින්ගෙන් රජයට ස්තුතිය

මෙවර හජ් වන්දනා ගමන ඉතිහාසයේ ගැටලු අවම වූ හජ් වන්දනා ගමන බවට පත් වූ බැවින්, ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිවිල් සංවිධාන නායකයින් රජයට ස්තුති කළහ. ඒ මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් පිරිසක් අතර ඊයේ (25) පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී ය. මුස්ලිම් සමාජය මුහුණපාන පොදු සමාජ ගැටලු රජය සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ නියෝජිතයින් පිරිසක් ද මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් 40ක පමණ පිරිසක් ද සහභාගී වී සිටියහ.

විවිධ හේතූන් මත වසා දැමුනු මුස්ලිම් ආගමික ස්ථාන පිළිබඳව රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග, කුර්ආන් ග්‍රන්ථ වැනි ආගමික ග්‍රන්ථ ආනයනය කිරීමේ දී වරායෙන් නිදහස් කරගැනීම සම්බන්ධව මතුවන ගැටලු විසඳා ගැනීම, මුස්ලිම් හෙද ශිෂ්‍යයාවන් මුහුණදෙන ගැටලු විසඳා ගැනීම, අරාබි පාසල්වල විෂය නිර්දේශය පිළිබඳ ගැටලු, කොවිඩ් වසංගත සමයේ භූමදානය කළ දේහ පිළිබඳ විස්තර අදාළ පවුල් වෙත ලබා දීම, මුස්ලිම් ප්‍රජාව තුළ සිදුවන මරණ ලියාපදිංචි කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරගැනීම සහ එළඹෙන වසරේ හජ් වන්දනාව ආදී කරුණු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා විය.

මුස්ලිම් සමාජය මුහුණ පාන ගැටලු අදාළ අමාත්‍යංශ හරහා නිසි ලෙස අධ්‍යයනය කර පිළිගත හැකි විසඳුම් ලබා දීමට රජය ක්‍රියාමාර්ග ගන්නා බවත් එළඹෙන වසරේ හජ් වන්දනා වියදම සාමාන්‍ය පවුලක සාමාජිකයෙකුට ද දැරිය හැකි මුදලකට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය මැදිහත් වන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින්ට ප්‍රකාශ කළේ ය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාවට රජය නියෝජනය කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම් යන මැති ඇමතිවරු සහභාගී වී සිටියහ.

මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් නියෝජනය කරමින් මවුලවිවරුන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෛද්‍යවරුන්, නීතිඥයින්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් ද එක්ව සිටියහ.