66 වන රාජ්‍ය ඔසුසල ශාඛාව කෑගල්ලට

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව  ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 66 වන රාජ්‍ය ඔසුසල – කෑගල්ල  ශාඛාව අංක 152, නුවර පාර, කෑගල්ල. ස්ථානයේ දී මෙම මස 6 වන දා පස්වරුවේ විවෘත කිරීමට නියමිතය.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව කෑගල්ල නව ඔසුසල් ශාඛාව ස්ථාපිත කිරීමට නියමිත අතර 65 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව පසුගිය ජුනි මාසයේ දී නාරාහේන්පිට දී විවෘත කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරන ලදි.

මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා සහ  “රණවිරු විරුසර” කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිත ව ඖෂධ නිකුත් කිරීම ට නියමිත ය.

නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේ දී අවස්ථා හතරක දී ම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු ඖෂධ වෙළෙපොළට යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබාගැනීමට මෙම ශාඛාවෙන් අවස්ථාව ලැබෙනු ඇත.

සදුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා සහ සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා මෙම ඔසුසල් ශාඛාව විවෘත ව පවතී.

ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින්  1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 53කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට සැපයීම සිදුකරයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් (SPC) ඉදිරි මාස කිහිපය තුළ දී මඩකළපුව, ත්‍රිකුණාමලය සහ පුත්තලම  යන දිස්ත්‍රික්ක වල ද රාජ්‍ය ඔසුසල් ශාඛා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.