මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් දිගුදුර නාවික මෙහෙයුම් බලඇණියේ අත්අඩංගුවට
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ අරමුණු සාක්සාත් කර ගැනීම වෙනුවෙන්, එහි ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කාලපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සාර්ථක නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව, අද (2026 මාර්තු 08) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී, නාවික හමුදා භාරයට ගත් උර තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය දෙකකට (102) අධික තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නව සියයකට (900) අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වූ ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ආරක්ෂක අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණයෙන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සියළුම බුද්ධි අංශ සැලැස්මක් සහිතව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විත මනා සංවිධානයකින් යුතුව, පුළුල්ව සහ තීව්ර ලෙස දියත් කර ඇති බවත්, රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත් අවධාරනය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, ගෙවීගිය 2025 වර්ෂයේදී ත්‍රිවිද හමුදාව හා පොලීසිය, පොලිස් විශේෂකාර්ය බළකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන දේශීය ආයතන සමඟ මෙන්ම, ජාත්‍යන්තර ආයතන හා එක්ව මනා සම්බන්ධීකරණයෙන් සහ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරමින් ඉතා සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදුකළ බවත්, පසුගිය වර්ෂයේදි නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර දීමට හැකි වූ බවත්, රටේ ඇතිවූ ජාතික ආපදා තත්වය හමුවේ වුවද ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදාව හා පොලීසිය විශාල කාර්යභාරයක් සිදුකරන බවත්, වර්තමානයේ පවතින ලෝක යුද වාතාවරණය සහ ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය තුල සිදුවූ නෞකාවන් ආපදාවට ලක්වීමේ සිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශාල කාර්යභාරයක් ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුව දිවා රෑ නොතකා සිදුකරමින් සිටියදී වුවද, මහජන ආරක්ෂාව වෙනුවෙන් හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීම වෙනුවෙන් අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව සිදුකරනු ලබන සුවිශේෂි දායකත්වය සම්බන්ධයෙන්, ගරු ජනාධිපති තුමා වෙනුවෙන් ගෞරවය හා ප්‍රනාමය පල කරන බවත් පවසන ලදි.
මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය රටේ ප්‍රධාන ව්‍යසනයක් බවට පත්වී ඇති බවත්, එය පිටුදැකීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන, දෙමව්පියන් පමණක් නොව සමාජයේ සියළුම පාර්ශවයන් වෙත වගකීමක් පවතින බවත්, කිසිදු ලෙසකින් මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මඟින් රටතුලට රැගෙන ඒමට හැකියාවක් නොමැති බැවින්, ජාවාරම්කරුවන්, වෙළෙන්දන් සහ බෙදාහරින්නන් හට ජාවාරමෙන් ‘ඉවත්වෙනු’ කියා අවධාරනය කළ ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවන් පුනරුත්තාපනය වෙනුවෙන් අති විශාල මුදලක් වැය වන බැවින්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හටත් මේ විනාශකාරි පුරුද්දෙන් මිදෙන ලෙස අවධාරණය කෙරිණි.
එමෙන්ම, අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය නීතිමය පියවර අවසන් වන තෙක් ඉතාමත් සුරක්ෂිතව පවතින බවත්, නීතිමය පියවර අවසන් කෙරුණු විෂ මත්ද්‍රව්‍ය සහ නඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් පැවසු ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, නිතීය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ස්වාධීනව මෙහෙයුම් සිදුකිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බැවින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු 1818 සහ 1997 යන ක්ෂණික දුරකථන අංක වෙත ලබා දෙන ලෙස මහජනතාව වෙතින් ඉල්ලා සිටිමින්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වගකීම් සහගත මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ගේ කාර්යය භාරය ඇගයීමද, එහිදී සිදුකෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව (01), හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය දෙකකට (102) අධික තොගය සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නව සියයකට (900) අධික තොගය සමඟ සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
