හෙල්ල විසිකිරීමේ ජාතික ශූර රුමේෂ් තරංග, ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට යළිත් වරක් පත්ව තිබෙනවා.
ඒ ලොසෑන් නුවරදී පසුගියදා පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්.
ලෝක හෙල්ල විසිකිරීමේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව රුමේෂ් තරංග පළමු ස්ථානයට පත්ව ඇත්තේ, ශ්‍රේණිගත කිරීම් ලකුණු 1363 ක් ලබා ගනිමින්.
මෙතෙක් පෙරමුණේ පසු වූ ජර්මනියේ ජුලියන් වෙබර් ශ්‍රේණිගත කිරීම් ලකුණු 1342 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය, ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පෙටර්ස් ට හිමියි. ඒ, ශ්‍රේණිගත කිරීම් ලකුණු 1337 ක් ලබා ගනිමින්.
පසුගියදා නිමා වූ ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගැනීමට මෙරට ජාතික ශූර රුමේෂ් තරංග සමත්වුණා.
මෙහිදී රුමේෂ් තරංග තම තුන්වන උත්සාහයේදී මීටර මිටර 88 යි දශම 1 යි 4 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගත්තා.
හෙල්ල විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වන රුමේෂ් තරංග ජාත්‍යන්තර තරගවලදී අඛණ්ඩව අවස්ථා 05 කදී මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගෙන සිටීම විශේෂ්තවයක්.
රෝම් ඩයමන්ඩ් ලීග්, දෝහා ඩයමන්ඩ් ලීග්, ඔස්‍කාවා ගෝල්ඩන් ස්පයික්, ග්ලාස්ගොව් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී මෙන්ම, ලොසෑන් ඩයමන්ඩ් ලීග් යන මලල ක්‍රීඩා තරගාවලියන්හිදී ද ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වුණා.
රුමේෂ් තරංග මෙම වසරේදී දැක්වූ හොඳම දක්ෂතාව මීටර 92 යි දශම 6 යි 2 ක්. මෙතෙක්, මෙම වසරේදී ක්‍රීඩකයෙකු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පෙන්වූ හොඳම දක්ෂතාව ද මෙයයි.
රුමේෂ් තරංග, අද ස්විට්සර්ලන්තයේ සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට තරග කිරීමට නියමිතයි.
