
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් Volker Türk මහතා අද (24) පෙරවරුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී මුණගැසුනේ ය.
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා ගමන ඉතාම වැදගත් සංචාරයක් ලෙස ශ්‍රී ලංකා රජය සලකන අතර නව රජය යටතේ මානව හිමිකම්, සමාජ සාධාරණත්වය සහ සංහිඳියාව පිළිබඳව රජය මේ වන තෙක් ලබා ඇති ප්‍රගතිය මහකොමසාරිස්වරයාට සියසින් දැක බලාගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව අමත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ ය. පසුගිය ජනාධිපතිවරණය සිට මේ දක්වා උතුරේත්, නැගෙනහිරත්, දකුණේත් ජනතාවගේ උපරිම විශ්වාසය දිනාගැනීමට රජය සමත් වූ අතර එය ජාතික සමගිය වෙනුවෙන් තැබූ අනගි පියවරක් බව ද සඳහන් කළේ ය.
නව රජය විසින් දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ ක්ලීන් ශ්‍රී ලංකා යන වැඩසටහන් ඔස්සේ සමාජ සාධාරණත්වය, දූෂණය සහ අල්ලස තුරන් කිරීම යන අරමුණු දිනා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. ශ්‍රී ලංකා ජනතාව අඛණ්ඩව මුහුණ දුන් අර්බුද හේතුවෙන් මතු වූ ආර්ථික පසුබෑමෙන් ජාතියක් ලෙස මිදීම සඳහා රජය විසින් පියවර ගණනාවක් ගත් බවත් අත්‍යව්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම හා දිළිඳු ජනතාවට සහන ලබා දීම ඉන් ප්‍රධාන ස්ථානයක් ගත් බවත් දැනුම් දුන්නේ ය.
යුද්ධය අවසන් වූ වහාම සත්‍ය සහ ප්රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳව යෝජනා කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ වන අතර නිසැකවශයෙන්ම ඒ මග යාමට නව රජය අදිටන් කරගෙන සිටින බව ද අමාත්‍යවරයා දැනුම් දුන්නේ ය.
ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ජනතාවට පීඩා දෙන නීතියක් ලෙස තවදුරටත් පවත්වා නොගෙන එය අහෝසි කිරීම සඳහා ඉක්මණින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද විජිත හේරත් අමාත්‍යවරයා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වෙත දැනුම් දුන්නේ ය. මාර්ගගත සුරක්ෂිතාව පිළිබඳ පනත සංශෝදනය කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තුව තුළ අනුමත කරගැනීමට ද කටයුතු කරන බවත් දැනුම් දුන්නේය.
අධිකරණයේ, පොලීසියේ සහ ස්වාධීන කොමිෂන් සභාවල අපක්ෂපාතී ක්‍රියාකාරීත්වය වෙනුවෙන් රජය කැපවී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ශක්තිමත් කර එහි කටයුතු ඉදිරියට කරගෙන යාමට කටයුතු කරන බව ද දැනුම් දුන්නේ ය. මීට අමතරව ඔක්තෝබර් 23 වන දින ජාතික සමගි දිනය (National Unity Day) ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මීළඟ පිටුවට
ලෝක දේශපාලනය දැඩි අර්බුකාරී තත්ත්වයට පත්ව ඇති මොහොතක තමන් ලංකාවට පැමිණියේ දැඩි බලාපොරොත්තු සහගතව යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් Volker Türk මහතා ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ රටක් බව තමන්ට අමතක නොවන බවත් ඔහු පැවසීය.
මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයා බැලීම තම ආයතනයේ වගකීම වුවත් සෑම ජනකොට්ඨාසයකටම සමාන ආර්ථික අවස්ථා නොලැබීම මානව හිමිකම් හා බැඳුනු අංගයක් ලෙස තමන් සලකන බව අමාත්‍යවරයා වෙත පවසා සිටියේ ය. එබැවින් ආර්ථික ප්රතිලාභ සමාජයේ සෑම කෙනෙකුටම බෙදී යාම තහවුරු කිරීම ගැන තමන් අවධානය යොමු කරන බවද ඔහු පැවසීය.
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් සෑම විටම තම පවුලේ අතුරුදහන් වූවන් පිළිබඳ දැනගැනීමට නොඉවසිල්ලෙන් සිටීම සාමාන්‍ය දෙයක් ලෙසත් ඔහු සඳහන් කළේ ය. ලෝකය පුරා ජාතිවාදී හැඟීම් වර්ගවාදී බෙදීම් වර්තමානයේ දී දැකගත හැකි බවත් ඒවා පිටු දැකීම සෑම දෙනාගේම අරමුණ බවත් මහකොමසාරිස්වරයා සඳහන් කළේ ය.
නව රජය විසින් ජාතික සමගිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරනු ලබන නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විමසිල්ලෙන් පසුවන බවත් දැනට රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව තමා සතුටට පත්වන බවත් ඔහු පැවසීය. එම කාර්යය සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය මානව හිමිකම් ආයතනය ශ්‍රී ලංකාවට ලබා දීමට බලාපොරොත්තු වන බවත් මහකොමසාරිස්වරයා සහතික වූවේ ය.
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mr. Marc-André Franche මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.