අධික වේගය තවත් අහිංසක ජීවිත 2ක් බිලි ගනී

කුලියාපිටිය–මාදම්පේ ප්‍රධාන මාර්ගයේ අද (28) අලුයම 5.00ට පමණ එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුතුන් දෙදෙනා මියගොස් මව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්ත් වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ 27 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා සහ 12 හැවිරිදි බාල පුත්‍රයායි.

බරපතල තුවාල ලැබූ 49 හැවිරිදි මව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, මේ වන විට ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, යතුරුපැදිය වැඩිමල් පුත්‍රයා විසින් පදවා ඇති අතර, මව සහ 12 හැවිරිදි බාල පුත්‍රයා ඔහු සමඟ ගමන් කර ඇති බවයි.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ විදුලි ආලෝක කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මව සහ යතුරුපැදිය පැදවූ වැඩිමල් පුත්‍රයා හිස්වැසුම් පැළඳ සිට ඇති අතර, 12 හැවිරිදි බාල පුත්‍රයා හිස්වැසුමක් පැළඳ නොසිටි බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් තිදෙනා කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුතුන් දෙදෙනා මියගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විමර්ශන සිදුකරනවා.