බලංගොඩ කස්සප හිමිට පහරදුන් බවට සමාජ මාධ්‍යයේ පැතිරෙන පුවත අසත්‍යයි

සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේ සත්‍යග්‍රහයක යෙදී සිටි බලංගොඩ කස්සප හිමි හට පොලිස් නිලධාරින් විසින් පහරදුන් බවට සදහන් කරමින් අසත්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.  නිකුත් කළ එම නිවේදනය පහත පරිදි වේ.

‘‘සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේ සත්‍යග්‍රහයක යෙදී සිටි බලංගොඩ කස්සප හිමි හට පොලිස් නිලධාරින් විසින් පහරදුන් බවට සදහන් කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

2026.10.17 වන දින රාත්‍රී කාලයේ කුරුදුවත්ත පොලිස් වසමේ විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේ පිහිටි බුදු පිළිමය ඉදිරිපිටදී, බලංගොඩ කස්සප හිමිගේ ප්‍රධානත්වයෙන් දැනට බන්ධනාගාර ගතකර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිසි ක්‍රම වේදය යටතේ නිදහස් කරන ලෙසට ඉල්ලා විරෝධතා සත්‍ය ග්‍රහයක් ආරම්භ කර ඇත.

එම ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් පැමිණ සිටින පිරිස ආමන්ත්‍රණය කිරිමට හා ටෙන්ට් රෙද්දක් භාවිතා කර තාවකාලික අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් විසින් එය නීත්‍යානුකූල නොවන බව පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේ බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමින්වහන්සේලා රැස්වී සිටියදී එම ස්ථානයේ තිබූ කොන්ක්‍රීට් පඩියකින් ලිස්සා වැටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රතිකාර ලබා ගැනිම සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබාගෙන මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.

පොලිස් නිලධාරින් විසින් පහර දීමක් සිදු කර නොමැති අතර, ලිස්සා වැටිම හේතුවෙන් එම හිමි නම හදිසි අනතුරකට ලක්ව ඇත. මෙවැනි අසත්‍ය, මහජනයා කුපිත වන, නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි ප්‍රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.

අසත්‍ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරයි.’’ අදල නිවේදනය පහතින්….