කැනේඩියානු මහ කොමසාරිස්වරිය අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය සහ එම දූත පිරිස 2026 නොවැම්බර් 19 වන දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූහ.

මහ කොමසාරිස්වරිය සහ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් ගැනීමේ මාර්ගයක් ලෙස දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මහ කොමසාරිස්වරිය මෙහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකා සහ කැනඩා විශ්වවිද්‍යාල අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීම තුළින් දෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පවතින අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවිය.

නිපුණතා සංවර්ධනය සහ දැනුම හුවමාරු කර ගැනීම ඇතුළුව වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

අධ්‍යාපන අවස්ථා සහ ආයතනික හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම තුළින් විද්‍යා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට කිරීමට කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් කැනේඩියානු ආයෝජන වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ පවතින උනන්දුව ද අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

මෙම හමුවට කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශිකා ග්වෙන් ටෙම්මෙල් මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ද සහභාගී වූහ.