මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි තත්ත්වයන්ට මුහුණ දීම පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඊයේ රැස්ව තිබුණා.
විචලනය වන ගෝලීය තත්ත්වයන් සහ ප්රවනතා හමුවේ ශ්‍රී ලංකාවේ ආනයන අපනයන වෙළඳපල හැසිරීම, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සහ විදෙස් රැකියා කර්මාන්තය සහ විදෙස් සංචිතවලට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ විශේෂ අවධානය යොමු විය.
මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක්විය හැකි සියලු කේෂ්ත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනය කිරීම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්වීමේ දී සිදු විය.
දැනට ශ්‍රී ලංකාව සතුව තිබෙන බොර තෙල්, ගෑස් හා ගල් අඟුරු සංචිත පිළිබඳවත් ඉදිරි මාස කිහිපය සඳහා කර තිබෙන ඇනවුම් පිළිබඳවත් අනුකමිටුව දී සමාලෝචනය කළෙමු.
ඒ අනුව ශ්‍රී ලංකාවට තෙල්, බොරතෙල් සහ ගෑස් ආනයනය කිරීමේ දී අවධානමක් පැනනැගීමේ තත්වයක් නොතිබුණත් පූර්ව සූදානමක් ලෙස විකල්ප සැපයුම්කරුවන් සොයාගැනීමටත් එහිදී තීරණය විය.
මීට අමතරව එම කලාපයෙන් ආනයනය කරනු ලබන සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය සංචිත අවශ්‍ය ප්‍රමාණයෙන් පවත්වාගෙන යාම මෙන්ම සැපයුම් ජාලවලට ඇතිවන බාධාවන්ට අනුගත වන පරිදි පූර්ව සූදානමක් ලෙස විකල්ප සැපයුම්කරුවන් සොයාගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව එකඟ විය.
තේ ඇතුළු ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග කලාපයට අපනයන කරනු ලබන භාණ්ඩ සඳහා එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද කැබිනට් අනුකමිටුව සාකච්ඡා කළ අතර ඒ සඳහා විකල්ප වෙළඳපල අවස්ථා විවෘත කරගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් උපදෙස් දී තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය තුළ විදේශ ප්රේෂනවලට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ද සාකච්ඡා කළ අතර එම කලාපයේ විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කිරීමටත් යුද ගැටුම් උත්සන්න වුවහොත් ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වීමට සූදානමින් පසුවීමටත් එකඟතාවයට පැමිණ ඇත.
ඊයේ (25) පෙරවරුවේ මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්වූයේ වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජා, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, බලශක්ති අමාත්‍යංශ ලේකම් ආචාර්ය උදයංග හේමපාල, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් විමලේන්ද්‍රරාජා සහ ශ්‍රී ලංකා තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන අයගේ ද සහභාගීත්වයෙනි.

