කඳුළින් තෙත් වූ “පූරි රත් යාත්‍රාව”

ඉන්දියාවේ ආගමික උත්සවයක් සඳහා රැස්ව සිටි බැතිමතුන් අතර හටගත් තෙරපීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

නැගෙනහිර ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පූරි නගරයේදී “ජගන්නාත් දෙවියන්” වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ඉපැරණි “පූරි රත් යාත්‍රා” ආගමික උත්සවය අතරතුර එහි රැස්ව සිටි බැතිමතුන් අතර අද අළුයම මෙම තෙරපීම සිදු වූ බව එරට බලධාරින් පවසනවා.

ශ්‍රි ගුන්ඩිචා කෝවිලේ සිට දේව ප්‍රතිමා රැගත් රථ, යාත්‍රාව ආරම්භ කර සාරදා බාලී” ලෙස හැදින්වෙන කෝවිල ආසන්නයේදි එහි රැස්ව සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් අතර මෙම තෙරපීම හට ගෙන තිබෙනවා.

ඉන්දීය බලධාරින් කියා සිටියේ දේව ප්‍රතිමා රැගත් රථ ඇදගෙන යාමේ චාරිත්‍රය ආරම්භ වූ අවස්ථාවේ එම රථ තුන තුළ පිහිටුවා තිබු දේව ප්‍රතිමා වන්දනාමාන කිරීම සඳහා බැතිමතුන් පාලනයකින් තොරව එම රථ ආසන්නයට පැමිණිමත් සමග ඔවුන් අතර තෙරපීමක් ඇති වූ බවයි.

අනතුර සම්බන්ධයෙන් ඔඩිෂා ප්‍රාන්ත මහ ඇමති මොහාන් චරන් මාජි බැතිමතුන්ගෙන් සමාව අයැද සිටිනවා. ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.