
විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා එම චෝදනාව සම්බන්ධයෙන් තමා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ අනුව තමන් නඩු විභාගයේදී අදාල චෝදනාවට “නිවැරදිකරු” බව සඳහන් කරමින් ඉදිරිපත් කළ විත්තිවාචකය ඉවත් කරගන්නා බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව උත්තර කාර ආගමන හා විගමන පාලකවරයාට දඬුවම් නියම කිරීම පිළිබඳ නියෝගය මේ මස 24 වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.
ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලී චම්පික රණවක , එම්.ඒ සුමන්දිරන් සහ රවුෆ් හකීම් යන මහත්වරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් එම අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් වසරේ අගෝස්තු මස 02 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
ඉන් අනතුරුව විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයට සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
එහෙත් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව ඔහු ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළා.
මෙම නඩුකරය අද යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී වග උත්තරකාර හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විභාගයට ගැනීමේදී අදාල චෝදනාවලට තමන් නිවැරදිකරු යැයි වග උත්තරකරු විසින් කළ ප්‍රකාශය ඉවත් කරගන්නා බව සඳහන් කළා.
ඔහු අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ දැනුම් දී සිටියේ.
සිය සේවා දායකයා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිකු වන අතර ඔහු මාස නවයකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව සිය සේවාදායකයා වරද පිළිගෙන ප්‍රකාශයක් කිරීමට සූදානම් බවත් ඊට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.
ඒ අනුව එවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ දී පවතින නීතිමය තත්ත්වය මෙන්ම ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා අධිකරණය හමුවට කැඳවා විනිසුරු මඩුල්ල විසින් කරුණු පැහැදිලි කර දෙමින් ඔහුට එම ප්‍රකාශය සිදු කිරීම සඳහා අවසර ලබා දුන්නා.
ඉන් අනතුරුව අධිකරණය හමුවට පැමිණි හර්ෂ ඉලුක්පිටිය මහතා සිය ප්‍රකාශය සිදු කරමින්
” මේ චෝදනාවලට නිවැරදිකරු බව මං කලින් ප්‍රකාශ කළා. දැන් මම එය ඉල්ලා අස්කර ගන්නවා. මම අදාල චෝදනාවලට වරදකරු බව සිටිනවා.” යනුවෙන් ප්‍රකාශ කළ සිටිය.
මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වගඋත්තර කරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින්” මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ තිබෙන බරපතල භාවය ගැන ඔබට දැනුමක් තිබෙනවාදැයි” විමසීමක් කලා.
ඊට ප්‍රතිචාර දැක්වූ හර්ෂ ඉලුක්පිටිය මහතා ” ස්වාමීනී…. අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසීමක් කළා. එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමක් අධිකරණය විසින් කරගන්නා ලෙස එහිදී උපදෙස් ලැබුණා. අධිකරණයෙන් පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් එම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන ලෙස එවක අමාත්‍යාශ ලේකම්වරයාගෙන් මට දැනුම් දුන්නා. මම ඒ අනුව කටයුතු කළා. ඒ අවස්ථාව වන විටත් මම පූර්ව විශ්‍රාම යාමට ඉල්ලීමක් කර තිබුණා. වෙනත් ආයතනයකට ස්ථාන මාරුවක්ද ඉල්ලා තිබුණා” යනුවෙන් සඳහන් කළා.
එහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වග උත්තරකරු අමතමින් “මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඔබට ඉහළ අධිකාරියකින් බලපෑමක් තිබුණාදැයි” විමසුවා
ඊට පිළිතුරු දුන් වග උත්තරකරු
” ස්වාමීනි …නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා මට උපදෙස් දුන්නා. ඒ සම්බන්ධයෙන් වාචික මෙන්ම ලිඛිත දැනුම් දීමකුත් සිදුකළා.” යනුවෙන් කියා සිටියා.
විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා යළිත් ප්‍රශ්නයක් මතු කරමින් ” ඔබ කියා සිටින්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත අදාල අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළ බව නේද? ඔහුගෙන් උපදෙස් ලැබුණේ කවදාද?” යනුවෙන් විමසුවා.
ඊට පිළිතුරු දුන් වග උත්තරකරු” ස්වාමීනි.. මට දිනය හරියට මතක නෑ. මා විදේශගත වීමට පෙරයි එය ලබා දුන්නේ. නමුත් වාචිකව හා ලිඛිතව එම උපදෙස් ලබා දුන්නා.” යනුවෙන් සඳහන් කර සිටියා.
එහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වගඋත්තරකරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ජේෂ්ඨ පරිපාලන නිලධාරියකු වශයෙන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් උපදෙස් ලැබෙන තෙක් බලා සිටීමට අවශ්‍යදැයි විමසීමක් කලා.
ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම කරුණට අදාළව පෙත්සම්කාර පාර්ශවයෙන්ද අදහස් විමසීමක් සිදුකළා.
ඊට ප්‍රතිචාර දැක්වූ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවුෆ් හකීම් මහතා කියා සිටියේ මෙම ක්‍රියාව වග උත්තරකරුගේ අවශ්‍යතාව මත සිදුවූ කටයුත්තක් නොවන බවත් අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදුව බවත් සඳහන් කළා.
මෙම චෝදනාවට අදාළව දඬුවම් නියම කිරීමේ පූර්ණ බලය අධිකරණය සතු බවත් දඬුවම් නියම කිරීමේදී මෙම කරුණද සැලකිල්ලට ගන්නා ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පෙත්සම්කාර පාඨලී චම්පක රණවක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක පටන් ක්‍රියාත්මක ජාවාරමක් පවතින බවත් මොබිටෙල් ආයතනය මගින් ඩොලරයකට ලබාගත හැකිව තිබූ අයිතමයක් ඩොලර් 25කට ලබා ගැනීම මෙහිදී සිදුකර ඇති බවත් සඳහන් කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස රටට රුපියල් බිලියන 3.71 ක් අලාබයක් සිදු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු කමිටුවක් විසින් විගණකාධිපතිවරයාට දැනුම් ද තිබෙන බවත් චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මෙම විද්‍යාත් වීසා ගණුදෙනුව නිසා සිදුවී ඇති අලාභය කෝටි 331ක් බව මීට පෙර ගණන් බලා තිබුණද අදාල අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා එම පාඩුව තවත් වැඩි වී තිබෙන බවත් ඔහු සඳහන් කළා.
එම වකවානුවේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඇමෙරිකානු ඩොලර් 24 න් වැඩි කිරීම තුළින් අදාළ පාඩුව ගණනය කළ හැකි බවත් චම්පික රණවක මහතා වැඩිදුරටත් පෙන්වා දී සිටියා
ඉන් අනතුරුව හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා කිසිදු චෝදනාවකට වරදකරුවී නොමැති අතර ඔහු වැරදි කාලයේ වැරදි තනතුරක කටයුතු කිරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වූ බවත් ඔහු මේ වන විට වරද පිළිගෙන ඇති නිසා ඔහුට ලිහිල්ව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඔහු දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ද දැඩි අගතියට පත්ව සිටින බවත් ජනාධිපති නීතිඥවරයා සිහිපත් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මිනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළා.
ඉන් අනතුරුව වගඋත්තරකරුට දඬුවම් නියම කිරිම පිළිබඳ තීන්දුව මේ මස 24 වනදා ප්‍රකාශයට පත් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළා.