
මිනිසෙකුගේ මැදිහත්වීමක් හෝ අධීක්ෂණයකින් තොරව කෘත්‍රිම බුද්ධියේ (AI) සහාය ඇතිව රොබෝ පාපන්දු කණ්ඩායමක් චීනයේ බීජිංහි පාපන්දු තරගයකට එක්වූ අතර, එම සියලු රොබෝවරු ස්වයංක්‍රියව ක්‍රීඩා කළහ. පසුගිය 28දා රාත්‍රියේ පැවති මේ පාපන්දු තරගයේදී රොබෝවරුන්ට පන්දුව හඳුනා ගැනීමට ඉඩ සලසන දියුණු දෘශ්‍ය සංවේදක සවිකර තිබූ අතර, ඒවා නිර්මාණය කර ඇත්තේ වැටීමෙන් පසු තනිවම නැඟී සිටීමට හැකි වන පරිදිය.
එහෙත් තරගය අතරතුර රොබෝවරු දෙදෙනකු එකිනෙකා ගැටීමෙන් ඇද වැටී තිබුණ අතර, තරගයේ අව්‍යාජ බව ආරක්ෂා කිරීම උදෙසා සාමාන්‍ය පාපන්දු තරගයක මෙන් රොබෝවරුන් ස්ට්‍රෙචර් (රෝගීන් ගෙන යන ඇඳන්) මත රැගෙන යෑමට සංවිධායකයෝ කටයුතු කළහ.
මේ අතර ලෝක රොබෝ ක්‍රීඩා උලෙළ ලබන අගෝස්තු 15 සිට 17 දක්වා චීනයේ බීජිංහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී මිනිසෙකුගේ පෙනුමට සමාන පෙනුමක් ඇති රොබෝවරු ජිම්නාස්ටික්, පාපන්දු, ජවන හා පිටිය ඇතුළු ක්‍රීඩා ඉසව් 11කදී ක්‍රීඩා කිරීමට නියමිතය.
රොබෝ ක්‍රීඩකයන් නිපදවන Booster Robotics සමාගම පවසන්නේ අනාගතයේදී රොබෝවරු මිනිසුන් සමඟ සෙල්ලම් කරනු ඇති බවයි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චෙං හාඕ මහතා පැවසුවේ මානවරූපී රොබෝවරුන් සඳහා ලෝක රොබෝ ක්‍රීඩා උලෙළ හොඳ පරීක්ෂණ භූමියක් වනු ඇති බවයි. “අපි මිනිසුන් මෙන් ක්‍රීඩා කිරීමට රොබෝවරුන් සංවිධාන කරනවා. නමුත් රොබෝවරු සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව අප සහතික කර ගත යුතුයි” චෙං හාඕ මහතා පැවසීය.